තවත් මාලිමා හිතවතුන් කියන්නේ නඩු පවරන ලෙසටය.
බොහෝ දෙනකු සිටින්නෙ විකෂිපතබවකිනි.
එය නම් සැබෑවකි මක් නිසාද යත් දුෂන විරෝධී මාලිමා රජයෙන් එවැන්නක් මාලිමාවේ විවේචකයකු වන මා පවා අපේක්ෂා නොකල නිසාය.
නමුත් නොසිතු දෙයම රට තුල සිදුවනු අප අතීතයේ සිටම සිදුවන ආකාරය අත්දකිනු ලැබුයේය.
යහපාලනයක් කරන්නට ආ පාලනය මහ බැංකුව බින්දේය.
රටම බංකොලොත්වු මොහොතක කෙහෙලිය හොර බෙහෙත් ජනතාවට ලබා දී කෝටි ගනන් වංචා කලේය.
දැන් දුෂනයට රහසින් හෝ නොපෙලඹෙන මාලිමා රජය ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ප්‍රසම්පාදනය හරහා රාජ්‍ය සම්පත් ක්‍රමානුකූලව අවභාවිත කිරීම සහ මූල්‍ය අලාභ සිදුකිරීමක් සිදුකර ඇත්තේය.
මෙයින් අපට හැගවෙන්නේ දුෂනය අපේ ලෙයට හා ඇට මිදුලු දක්වා කිදා බැස ඇති සෙයකි.
අපට අනුව සිදුවී ඇති ප්‍රධාන වංචාව වන්නේ “ගුණාත්මකභාවය මත පදනම් වූ අනිසි ලාභය" (Quality Arbitrage) යන්නයි.
මෙම වංචාව සිදුවන්නේ ගිවිසුම්ගත මිල සහ සැබෑ ගුණාත්මකභාවය අතර පවතින පරතරය උපයෝගී කරගනිමිනි. ලංසුකරු (Trident Chemphar Ltd.)
ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිත ලෙස හසුරුවමින් ඉහළ වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුවක් ලබාගෙන, අවසානයේ අඩු වටිනාකමකින් යුත් ගල් අඟුරු ලබා දෙමින් එම වෙනස "අනිසි ලාභයක්" බවට පරිවර්තනය කරගැනීමයි.
ලංසු කරු ඉදිරිපත් කල ලංසු මිල වුයේ මෙට්‍රික් ටොන් එකක් ඇ.ඩො. 98.50 කට ගල් අගුරු සැපයීමටය.
නමුත් ලංසු කරු සපයන්නේ සැබෑ ගුණාත්මකභාවය පහල එනම් -5,078 kcal/kg තරම් අඩු සහ 21% - 26.9% අළු ප්‍රමාණයක් සහිත ගල් අඟුරුය.
මෙම තත්වය තුලින් ලංසු කරු ලබා ගන්නා අනිසි ලාභය වන්නේ සෑම මෙට්‍රික් ටොන් එකකින්ම ඩොලර් 27–51 අතර වෙනසක් පදනම්වු ලාභයකි.
මෙම ලාබ ලබන ක්‍රියාවලිය අපට මෙසේ හදුනාගත හැකිය.
ලංසු තබන වකවානුවේ සිට මේ දක්වා (ශීත සෟතුවේදී සිදුවන මිල උච්ඡාවචනයන්ට යටත්ව ) ලෝක වෙලදපලෙහි ගල්අගුරු මිල ඛාන්ඩ 4 ක් ඔස්සේ හදුනාගත හැකිව තිබේ.
1. 6,322 GAR (High Quality)- ඩො 102.88
2. 5,300 GAR (Mid Quality)- ඩො.71.74
3. 4,100 GAR (Low Quality)- ඩො.47.34
4. 3,400 GAR (Lignite/Very Low)-33.85
මෙම මිල ගනන් දෙස බැලූ කල ලංසුකරුවා ආරම්බයේ සිට ඉහල තත්වයේ ගල්අගුරු මෙට්‍රික් ටොන් එකක් ඩො. 98.5 ලබා දිය නොහැකිවන බව දැන සිටිය බව උපකල්පනය කලහැකිව තිබේ.
ඒ අනුව ඔහු අපට සපයන්නට අදහස් කරන්නේම ලංසු තැබු මිල පරිදිම මධ්‍ය හෝ පහල ඝනයේ ගල්අගුරුය.
මේ පිලිබදව ප්‍රසම්පාදන ක්‍රියාවලිය හසුරුවන තාක්ෂනික කොමිටිය නොදැන සිටින්නට හේතුවක් නැත.
එනම් ඩො. 98 කට ඉහල කොලිටියේ ගල්අගුරු ලොක වෙලදපලින් මිලටගත නොහැකි බව නොදන්නේ ලදරුවන් පමනි.
නමුත් Trident Chemphar Ltd. ලංසු තැබුයේ වෙලදපල අසීරුතාවය දැන දැනම ඉහල ඝනයේ ගල් අගුරු සැපයීමටය. එය අප නීතිය ඉදිරියේ කියන්නෙ misrepresentation එකක් කියාය.
එනම් තමන් මෙරටට එවන ගල්අගුරු වල ප්‍රමිතිය
Gross Calorific Value (GCV) එක 5,900 – 6,150 kcal/kg හා එහි Ash Content (Max) 16% වන බවත් Moisture (Max)- 16% ක පවත්වා ගෙන යන බවටත්ය.
නමුත් මෙරටට ගොඩබාන ලද සියලු ගල්අගුරු නැව් තුල එසේ ගිවිසුම් ගත අගයන් පැවතුනේ නැත.
උදාහරනයකට හයවන නැවෙන් ගෙන එන ලද ගල්අගුරු වලින් නිපදවන ලද්දේ 270 MW. කි. 300 MW නිපදවන්නට හැකිවුයේ නැත.
අටවන නැවෙන් නිපදවන ලද්දේ 255MW ප්‍රමානයකි.
මෙලෙසට රටට ගොඩ බාන ලද සියළු නැව් වල තිබුනේ ඉහත දැක්වු මධ්‍ය හෝ පහල තත්වයේ ගල් අගුරු බව දැන් තහවුරුවී තිබේ.
මේ අනුව පැහැදිලි වන්නේ ලංසුකරු විසින් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියේ ආරක්ෂිත විධිවිධාන ක්‍රමානුකූලව බිඳ හෙළමින් ශ්‍රී ලංකා බලධාරීන් හසුරුවා ඇති ආකාරයයි.
එසේ හැසුරුවා හැරීමට ලංසුකරුට/ සැපයුම්කරුට බලයක් ලැබුනේ නම් එසේ හැසිරවීමට බලය දානය කරන්නේ ලංසු කරු විසින් විසිකරන ලබන කොමිස් මුදල බව වටහාගන්නට නොහැකි විය නොහැක.
ලංසු කරුට මෙම ටෙන්ඩරය ලබා දෙන්නට ශ්‍රී ලංකා රජය කලහැකි සැම දෙයක්ම සිදු කලේය.
සුදුසුකම් ලිහිල් කිරීම සිදුකලේ මේ අයුරිනි:
සැපයුම්කරුගේ පූර්ව පළපුරුද්ද මෙට්‍රික් ටොන් මිලියන 1 සිට ටොන් 100,000 දක්වා 90% කින් අඩු කර දැම්මේය.
එමගින් ගල් අඟුරු පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති ඖෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගමකට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලබා දුන්නේය.
ගල් අගුරු කෂේත්‍රයට ආධුනිකයෙක්වු ලංසු කරුට ඔහුගේ ඖෂද වෙලදාමෙහි නිපුනතාවය සලකා ටෙන්ඩර කොන්දේසි වෙනස්කොට ලබා දීමට තරම්වු සුවිශේෂී තාවය කැබිනට් මන්ඩලය විසින් රටට පැහැදිලි කරදිය යුතුය.
මාලිමා රජය එතැනින් නැවතුනේ නැත.
ගල් අගුරු ගෙන්වා ගැනීමට වු කෘතිම හදිසි අවශ්‍යතාවයක් මවාපාමින් ටෙන්ඩර් කැඳවීමේ කාලය දින 42 සිට දින 21 දක්වා අඩකින් අඩු කරනු ලැබුයේ ආරම්බයේ සිටම ප්‍රසම්පාදනයේ ඉලක්කගත ලංසු කරුවකු සිටි නිසාය.
එසේම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග සහිත නිශ්චිත සැපයුම්කරුවන්ට වාසි සැලසීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය මාර්තු සිට ජූලි දක්වා ප්‍රමාද කර තිබුනේය.
ආරම්බයේ සිටම මෙම ලංසු ක්‍රියාවලිය පාරදෟෂ්‍ය බවක් නොගත්තේය.
සැපයුම්කරුගේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ තරඟ පාවාදීමේ චෝදනා මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසර 7 ක තහනමකට ලක් කර ඇති පුද්ගලයෙකි.
ඒ අනුව බලන කල ආරම්බයේදී මෙන්ම අවසානයේදීද සැපයුම් කරු හැසිරී තිබෙන්නේ වංචනිකවය.
එහිලා පරීක්ෂණ වාර්තා වෙනස් කිරීම කැපී පෙනෙති.
නමුත් දඩ ගැන කතා කරමින් ටෙන්ඩරය අහෝසි නොකරන්නේ කටේ ලබාගත් කොමිස් හිරවී ඇති නිසායයි සිතේ.
වංචනික සැපයුම් කරු සමග ශ්‍රී ලංකා රජය පෙන්වන සහයෝගීතාවය පුදුම සහගතය.
ඇතැම් විට එම සහයෝගීතාවය වංක සහයෝගීතාවයක් දක්වා දුරදිග ගොසින්දැයි සැක සිතේ.
01 වන නැව් තොගය පටවන වරායේදී "පිළිගත හැකි" මට්ටමේ ඇති බව සහතික කර තිබුණද, ශ්‍රී ලංකාවේදී සිදුකල පරීක්ෂණ වලින් එය අසාර්ථක විය.
මෙයින් හැඟී යන්නේ සාම්පල හෝ පරීක්ෂණ වාර්තා සිතාමතාම වෙනස් කර ඇති බවයි.
මේ අනුව මෙම වැරදිසහගත ගල්අගුරු ටෙන්ඩරය නිසා ඇතිවී තිබෙන ආර්ථික හානිය ඉතා ඉහල අගයක් ගන්නා බවය.
ආන්ඩුව පාරම්බාන එකතු කල හැකි දඩ මුදල් වලට වඩා එහා ගිය විනාශයක් මෙම මගඩිය තුල අන්තර්ගතවී තිබේ.
මේවන විට සැපයුම්කරු සහ දූෂිත බලධාරීන් "කොන්ත්‍රාත් දඩ මුදල්" අයකර ගැනීම මහජනතාව මුලා කිරීමට පලිහක් ලෙස භාවිතා කරමින් සිටී.
දඩ මුදල් අයකර ගත්තද, එය සිදු වූ සැබෑ හානියෙන් ඉතා කුඩා කොටසක් පමණි.
දඩ මුදල් පිළිබඳ මිථ්‍යාව:
01 වන නැව් තොගය සඳහා රුපියල් මිලියන 644.5 ක දඩයක් අයකර ගෙන ඇත.
නමුත් 03 වන නැව් තොගයෙන් පමණක් සිදු වූ සෘජු විදුලි උත්පාදන පාඩුව රුපියල් මිලියන 1,047.4 කි.
ඒ අනුව බලන කල රටට වු සෘජු පාඩුව දෙස බලන කල පළමු නැව් තොග 8 කින් පමණක් සිදු වූ මුළු පාඩුව රුපියල් බිලියන 7.67 දක්වා ඉහළ ගොස් ඇති බව ගනන් බැලිය හැකිව තිබේ.
ඊට අමතරව විදුලි උත්පාදන අර්බුදයට මෙම මගඩිය තදින් බලපානු ඇත.
බාල ගල් අඟුරු නිසා එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 45 ක අඩුවක් සිදු වේ.
මෙය පියවීමට රුපියල් 39.30 ක අධික පිරිවැයක් දරා තෙල් මගින් විදුලිය නිපදවීමට සිදු වේ.
මෙම මගඩිය නිසා රටේ යටිතල පහසුකම් විනාශයද සුළුපටු වන්නේ නැත.
ගල් අඟුරු වල ඇති අධික අළු ප්‍රමාණය (26.9%) නිසා බොයිලේරු බට ඉක්මනින් දිරාපත් වන අතර ටර්බයින් වලට හානි සිදු වේ. මෙය නොරොච්චෝල බලාගාරයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ලවී තිබේ.
මාලිමා පාක්ෂිකයන් කියන්නේ වරදක් සිදුවී ඇත් නම් නඩු පවරන ලෙසටය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ඉහත දැක්වු කරුනු මත :
* 70 වගන්තිය යටතේ රජයට අයුතු ලෙස අලාභ සිදුකිරීම.
* 74 වගන්තිය යටතේ පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වංචා කිරීම.
* 79 වගන්තිය යටත් නිශ්චිත සැපයුම්කරුට වාසි සැලසීම සඳහා විගණකාධිපති නිර්දේශ නොසලකා හරිමින් නිලධාරීන් තම බලය අවභාවිත කිරීම පදනම් කොට ගෙන චෝදනා එල්ල කලහැකිව තිබේ.
මෙම වංචාව සඳහා රාජ්‍ය නිලධාරීන් සහ සැපයුම්කරු සම්බන්ධ වූ සංවිධානාත්මක අපරාධයක් බව අපට නම් ඉතා පැහැදිලි කරුනකි.
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...




