The Leader News
BREAKING
Top Ad
Opinion

අනපේක්ෂිත පරාජයෙන් පසු එජාප ඉගෙනගත යුතු පාඩම : මහචාර්ය ජයදේව උයන්ගොඩ

T

The Leader Desk

December 12, 2019 • 7:03 AM

 අනපේක්ෂිත පරාජයෙන් පසු එජාප ඉගෙනගත යුතු පාඩම : මහචාර්ය ජයදේව උයන්ගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනපේක්‍ෂිත මැතිවරණ පරාජයකින් පසු බලයේ සිටි හෝ නොසිටි දේශපාලන පක්‍ෂ අර්බුදයට පත්වීම අසාමාන්‍ය දෙයක් නොවේ. 1956, 1970, 1977 සහ 2015 මැතිවරණවලදී පරාජිත කඳවුරේ පසුබෑම, අභ්‍යන්තර ආරාවුල් සහ ව්‍යාකුලත්වය මතුවීම ඉහළ පරිමාවෙන් සිදුවිය. 2019දී එජාපයට වී තිබෙන්නේ එම චක්‍රයට හසුවීමය.
  • තනි පක්‍ෂ ඒකාධිපති පාලන තන්ත්‍රයක් බිහිවීමේ 1970දීත්, 1977දීත්, 2009න් පසුවත් පැනනැගුණු ප්‍රවණතා පසුබෑමට ලක්වූයේ, ශක්තිමත් ද්වි-පක්‍ෂ ක්‍රමයට බිඳ නොවැටී පැවතීමට හැකිවූ නිසාය.
  • ලංකාව දැන් පවතින්නේ තනි පක්‍ෂ ඒකාධිපති පාලන තන්ත්‍රයක් බිහිවීමේ ප්‍රවණතාව නැවත මතුවී ඇති දේශපාලන සංධිස්ථානයකය.
  • රනිල් වික්‍රමසිංහ කඳවුරද මෙම කරුණ ගැන ඒ තරම් අවබෝධයකින් සිටින බවක් නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2015දී ශ්‍රී ලනිපය පත්වූ පසුබෑම සුළුපටු නොවේ. පක්‍ෂය දෙකට කැඩුණ අතර, එහි ප්‍රතිඵලය වූයේ ලංකාවේ දේශපාලන පරිවර්තනයට ඉමහත් දායකත්වයක් ඉටුකළ ශ්‍රීලනිපය දියවී යාමයි.

පරාජිත එජාපයේ නායකයන්ද දේශපාලන පරිණතභාවයෙන් යුතුව ක්‍රියා නොකළහොත්, එජාපයද අභ්‍යන්තර වශයෙන් බෙදී ගොස් කැබලි වීමේ හැකියාව තිබේ. 

ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක ශක්තිමත්ව තිබීම, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියේ සෞඛ්‍යසම්පන්න පැවැත්මට අත්‍යවශ්‍යය. තනි පක්‍ෂ ඒකාධිපති පාලන තන්ත්‍රයක් බිහිවීමේ 1970දීත්, 1977දීත්, 2009න් පසුවත් පැනනැගුණු ප්‍රවණතා පසුබෑමට ලක්වූයේ, ශක්තිමත් ද්වි-පක්‍ෂ ක්‍රමයට බිඳ නොවැටී පැවතීමට හැකිවූ නිසාය.


Viyangoda text1ලංකාව දැන් පවතින්නේ තනි පක්‍ෂ ඒකාධිපති පාලන තන්ත්‍රයක් බිහිවීමේ ප්‍රවණතාව නැවත මතුවී ඇති දේශපාලන සංධිස්ථානයකය. ලංකාවේප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂ ලක්‍ෂණයක් වූ ශක්තිමත් ද්වි-පක්‍ෂ ක්‍රමයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන, විපක්‍ෂයේ සිටින ප්‍රධාන පක්‍ෂය, බිඳී විසිරී නොගොස් සිටීම වැදගත් වන්නේ එබැවිනි.

විශේෂයෙන් එජාපයේ නායකත්වය ලබාගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සජිත් ප්‍රේමදාස කඳවුරේ පිරිසට මෙම කරුණ ප්‍රත්‍යක්‍ෂ විය යුතුව තිබේ. රනිල් වික්‍රමසිංහ කඳවුරද මෙම කරුණ ගැන ඒ තරම් අවබෝධයකින් සිටින බවක් නොපෙනේ.

එජාපය: මධ්‍යස්ථ ඇස්තමේන්තුවක්

මැතිවරණයකින් අත්වු දරුණු පරාජයකින් පසු කණ්ඩායම්වලට බෙදී යන දේශපාලන පක්‍ෂවල සිදුවන අභ්‍යන්තර සාකච්ඡුා සහ විවාදවල ඇති සාමාන්‍ය ලක්‍ෂණයක් නම්, ඒවා එකිනෙකාට වරද පැටවීමේ ආරාවුල් බවට පත්වීමයි. 

එහිදී එකිනෙකාට දෝෂය පටවන පාර්ශ්වවලට සාමාන්‍යයෙන් පරණ මිතුරුකම්ද අමතක වේ. අන්‍යොන්‍ය වෙනස්කම් අතිශයෝක්තියට නැංවීම, සුළු වෙනස්කම් විශාල කොට දැකීම, මනෝමූල සාධකවලට මුල් තැන දීම, අභ්‍යන්තර පක්‍ෂ බල අරගල බවට පත්වන මෙම විවාදවල සාමාන්‍ය ලක්‍ෂණයකි. 

2015 ජනවාරිවලින් පසු ශ්‍රී ලනිපයේ සිදුවූයේත්, එජාපයේ දැනට ප්‍රකාශවන්නේත් මෙම ධර්මතාවයි. එහි ස්වයං-විනාශකාරී බව අවබෝධ කරගන්නට, රණ්ඩු කරන පාර්ශ්වවලට කලක් ගතවීමද සාමාන්‍ය දෙයකි.

මේ ව්‍යාකුලත්වය මැද එජාපයේ කඳවුරු දෙකම තම තමන්ගේ ශක්තීන් සහ දුර්වලතා පිළිබඳව හැකිතාක් දුරට වාස්තවික ඇස්තමේන්තුවක යෙදීම, දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වනු ඇත.

දුර්වලතා
දේශපාලන පක්‍ෂයක් ලෙස එජාපයේ පවතින අතිමූලික දුර්වලතාවක් පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රකට වේ. එය නම්, එජාපයේ පහළ මට්ටමේ, ඡන්දදායකයන් මට්ටමේ ඇති සංවිධාන ශක්තිය කඩාවැටී තිබීමයි. 

1970 දරුණු පරාජයෙන් පසුව, 1972-1977 කාලය තුළදී එජාපය පණගැන්වීමට ජේආර් ජයවර්ධන මහතා යොදාගත් ප්‍රවේශය නම්, පක්‍ෂය පහළ මට්ටමෙන් ප්‍රතිසංවිධානය කර ශක්තිමත් කිරීමයි. ඔහු ජාතික, දිස්ත්‍රීක්ක, ඡන්ද කොට්ඨාස සහ ගම් මට්ටමෙන් පක්‍ෂ ශාඛා, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන, භික්‍ෂු සංවිධාන සහ වෘත්තිකයන්ගේ සංවිධාන ගොඩනැගුවේය. 

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ශාඛා සමිති ජාලයක් තුළින් ගොඩනැගූ සැටි නිදසුනකි.

 සජිත් මහතාගේ පියාගේ මරණය දක්වා එජාපයේ දේශපාලන පක්‍ෂයක් ලෙස තිබූ පරාජයට පත් නොවන ශක්තියේ එක් භෞතික පදනමක් වූයේ, ස්වාමි-සේවාදායක ප්‍රතිලාභ ව්‍යුහයක් මත ගොඩනගා තිබුණු මෙම පක්‍ෂ සංවිධාන ජාලයයි.

දේශපාලන පක්‍ෂයක් බලයේ සිටින විට පක්‍ෂ සංවිදධාන ජාලය අමතක කිරීම 
 
 රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපය සතුව තිබූ මෙම පහළ මට්ටමේ සංවිධාන ජාලය ශක්තිමත්ව පවත්වා නොගැනුණා පමණක් නොව, ඒවා දුර්වල වී අකර්මණ්‍ය විය. පක්‍ෂ ශාඛා ක්‍රියාත්මක වන්නට පටන්ගන්නේ ඡන්ද ව්‍යාපාරයක් පටන්ගත් විට පමණි. 


මා නිරීක්‍ෂණය කර ඇති ග්‍රාමීය මට්ටමේ බොහෝ පක්‍ෂ ශාඛාවල අලූත් ක්‍රියාකාරකයන් හෝ තරුණ පිරිස් හෝ ස්ත්‍රීන් නැත. සිටින්නේ ජේආර් ජයවර්ධන යුගයේ සිට ඉන්නාවූ, මගේ වයසේ සිටින, වයසට ගිය ශාඛා සමිති නිලධාරීන් හා සාමාජිකයන්ය. 

පහළ මට්ටමේ, එනම් තෘණමූල මට්ටමේ, ශාඛා සමිති ජාලය අලූත් කරමින්, පුනර්-නිර්මාණය නොකිරීම, රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එජාපය ලක්වූ බරපතළ සංවිදධානමය පසුබෑමකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දය විවේචකයකු වූ දයාන් ජයතිලක මහතාද නිරන්තරයෙන් අවධාරණය කළ විවේචනාත්මක කරුණක් වූයේ මෙයයි.

දේශපාලන පක්‍ෂයක් බලයේ සිටින විට පක්‍ෂ සංවිදධාන ජාලය අමතක කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලනිපයටද සිදුවිය. 

එහෙත් එජාපයේ ඇති විශේෂත්වය නම්, 1994න් පසු විපක්‍ෂයේ සිටි කාලයේවත්, පක්‍ෂ සංවිධාන ජාලය යළි ගොඩනැගීම එජාප නායකත්වය වෙතින් සිදු නොවීමයි. නැවත වරක් විරුද්ධ පක්‍ෂය බවට පත්වී සිටින එජාපය දැන්වත් මෙම පාඩම ඉගෙන ගත යුතුව තිබේ. 
Viyangoda text2
ඒ සඳහා ඔවුන් ආදර්ශයට ගතයුත්තේ, තම දේශපාලන ප්‍රතිවාදියකුගෙනි. එනම්, පොහොට්ටු පක්‍ෂයේ සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගෙනි. බැසිල් කෙළේ, ආණ්ඩු බලයේ සිටි ශ්‍රී ලනිපයත්, එජාපයත් යන පක්‍ෂ දෙකම සමග තරග කළ හැකි අලූත් පක්‍ෂයක්, ශක්තිමත් සංවිධාන ජාලයක් මත ගොඩනැගීමයි.

මේ අතර සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා තම තමන්ගේ දුර්වලකම් විශාල ප්‍රමාණයක්ද පසුගිය කාලයේ ප්‍රදර්ශනය කළහ. එජාපයේ නායකයන් ලෙස දිගටම කටයුතු කරමින්, පක්‍ෂය නැවත ජයගන්නා තත්ත්වයට ගෙන ඒමට නම්, එම දුර්වලකම් හඳුනාගෙන ඒවාට පිළියම් යොදාගැනීමට ඔවුන් උනන්දු විය යුතුය. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන දුර්වලතා දෙකක් මෙසේ හඳුනාගත හැකිය.

රනිල්ගේ දුර්වලකම:

රනිල් වික්‍රමසිංහ මහතා 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සම-නායකත්වය දුන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකටය. එය මහජනතාවගේ අනුමැතියද ලැබුණු එකක් විය. එම ව්‍යාපෘතියේ අනෙක් සමනායකයා වූ සිරිසේන මහතා කිසිසේත්ම දේශපාලන ප්‍රතිසංස්කාරයෙක් නොවේ. ඔහු ප්‍රතිසංස්කාරක කඳවුරට, දේශපාලන තත්ත්වයන් විසින් තල්ලූකරනු ලැබුවෙකි. 

මේ පසුබිම මත, 2015 යහපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දේශපාලන නායකත්වය දිය යුතුව තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාය. එහෙත්, මගහැරියේද එම දැවැන්ත දේශපාලන වගකීමයි.

රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් පරිකල්පනය කළ හැකි නායකයෙකි. එහෙත් එය නොසැලී, අධිෂ්ඨානශීලීව, අවසානය දක්වා, එහි බර කර තබාගෙන, නායකත්වය දෙන්නෙක් නොවේ. 2019 එජාපයේ පරාජය විශාල දුරකට රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම අතිමූලික දුර්වලතාව සමග බැඳී තිබෙන්නකි.

සජිත්ගේ දුර්වලතාව
Viyangoda text3මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති ප්‍රධාන දුර්වලකමක් නම්, ඔහු පක්‍ෂය සමග බැඳුණු නියෝජ්‍ය නායකයකු නොව, තමාගේ පුද්ගලිකත්වය වටා පක්‍ෂය ගෙනඒමට උත්සාහ ගන්නා තනි පුද්ගලවාදියකුය යන්නයි. 

පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ ඔහු පක්‍ෂ ශාඛා සංවිධාන පණගැන්වූයේ තමාගේ ජනාධිපති අපේක්‍ෂක අරමුණ ඉටුකර ගැනීමේ සීමිත ඉලක්කය වෙත ළඟාවීමටයි. නිවාස ව්‍යාපෘතිය තුළින් ඔහු ගොඩනැගුවේ තමන් වටා සංවිධානය වූ ස්වාමි-සේවාදායක සම්බන්ධතා ජාලයකි. 

එජාපය නමැති දේශපාලන පක්‍ෂය පහළ මට්ටමෙන් සංවිධානය කිරීම ඔහු අතින් සිදුවූයේ නැත. ඔහු පක්‍ෂය දෙස බැලූවේ තමන්ට අයත් නොවන සම්පතක් ලෙසය.

පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය

මෙයින් ප්‍රකාශ වන එක් දෙයක් නම්, ඉදිරි අවුරුදු පහ තුළ ලංකාවේ දේශපාලනයේ සිදුවීමට බොහෝ විට ඉඩ තිබෙන පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී, අධිකාරවාදී පරිවර්තනය වෙතින් එල්ලවන අභියෝග සමග ගනුදෙනු කිරීමේ හැකියාවක්ද එජාපය විසින් අත්පත් කරගත යුතුය යන්නයි. 

මෙම අභියෝගයම ජවිපෙටද තිබේ. ඉදිරි කාලයේ ලංකාවේ ඇතිවිය හැකි දේශපාලන පරිවර්තනය ගැන ජවිපෙ සතුව දැනට තිබෙන වටහාගැනීමද සංශෝධනය කළ යුතුව තිබේ.Viyangoda 4
ලංකාවේ ඉදිරි කාලයේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය සහ පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී අධිකාරවාදය වශයෙන් ධ‍්‍රැවීගත වීමට තිබෙන ඉඩකඩ බොහෝය. 

එයට මුහුණ දීමට නම්, එජාපය, ජවිපෙ සහ අනෙකුත් කුඩා පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආයතන වශයෙන් පුනර්ජීවනය ලැබීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල පුළුල් සන්ධානයක් ගොඩනැගීම, ඉදිරි කාලයේ ලංකාවේ විවෘතවීමට ඉඩ තිබෙන දේශපාලන අරගල සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. 


(මහචාර්ය ජයදේව උයන්ගොඩ - අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

Prof Jayadeva Uyangoda

 

 

 

 

 

 

Jayadeva Uyangoda 
uyangoda@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...