The Leader News
BREAKING
Top Ad
Opinion

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ 'ජාතික ජන බලවේගයේ' සංසාරය - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

November 21, 2019 • 4:13 PM

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ 'ජාතික ජන බලවේගයේ' සංසාරය - ගාමිණී වියන්ගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ.
  • වර්තමාන මොහොත අතහැරියොත්, සියල්ල ගිලිහී යාම නියත බව ප්‍රත්‍යක්ෂ ඥානයට වැටහෙන බැවිනි.  ඉතිහාසය සාමාන්‍යයෙන් ගලා යන්නේ ඒකාකාරීව ය.
  • පසුගිය නොවැම්බර් 16 වැනි දා බස් එකක් ආවේය.
  • මෙරටේ මහජාතික සහ මහආගමික පෘථග්ජන මිනිස්සු ඒ බසයට තමන් ගොඩවීමේ නිමේෂයේ ඇති වැදගත්ම නිවැරදිව වටහාගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ. ඒ, මේ ජීවිතයයි. ඊළඟට, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දිවෙන සංසාරයක් තිබේ. බෞද්ධයන්ගේ ලෝකය තුළ, ආගමානුකූලව කුමක් විශ්වාස කළත්, ප්‍රායෝගික පැවැත්ම රැදෙන්නේ, මේ මොහොත හෙවත් වර්තමාන ජීවිතය මත මිසක් අර කියන සංසාරය මත නොවේ. 

ඒ අවබෝධය, පැවැත්ම පිළිබඳ අතිමූලික සත්තාව සමග බැඳී පවතී. සංසාරය ගැන සිතමින්, අනිත්‍ය ගැන සිතමින්, වර්තමාන ජීවිතය පරදුවට තබන මෝඩ මිනිසුන් පන්සල් තුළ පවා නැත. හේතුව ඉතා සරල ය. වර්තමාන මොහොත අතහැරියොත්, සියල්ල ගිලිහී යාම නියත බව ප්‍රත්‍යක්ෂ ඥානයට වැටහෙන බැවිනි. 

ඉතිහාසය සාමාන්‍යයෙන් ගලා යන්නේ ඒකාකාරීව ය. ඒ 'සරල' මිනිස් ගමන තුළ, තීරණාත්මක නිමේෂයන් මතුවෙයි. මේ දක්වා වන ඉතිහාසය වශයෙන් අප හඳුනාගන්නේ, එකී නිමේෂයන් මිනිසා විසින් ක්ෂණිකව අල්ලාගත් සහ උකටලීව අතහැරගත් සංසිද්ධීන්වල එකතුව ය. 

දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ඉතිහාසය යනු, වෙලාවට බස් එකට ගොඩවූ මිනිසුන්ගේ සහ බස් එක මිස් කරගත් මිනිසුන්ගේ කතාන්තරවල ඓක්‍යයයි.

පසුගිය නොවැම්බර් 16 වැනි දා බස් එකක් ආවේය. මේ බස් එකට ගොඩ වී එහි මගී ආසන මෙන්ම සුක්කානම හැසිරවීමේ රියැදුරු ආසනයේත් බලය ලබාගන්නා පිරිස් විසින්, ඒ බස් රථයේ ගමන් මාර්ගය නියම කිරීමට තීන්දු වී තිබුණි. මතක තියාගන්න: මෙය, කෙටි ධාවන බස්රථයක් නොව, දුර ධාවන බස්රථයකි. 

දෙමළා සහ මුසල්මානුවාට යස පාඩමක්!

මෙරටේ මහජාතික සහ මහආගමික පෘථග්ජන මිනිස්සු ඒ බසයට තමන් ගොඩවීමේ නිමේෂයේ ඇති වැදගත්ම නිවැරදිව වටහාගත්හ. නූතන රාජ්‍යය තුළ පෞරාණික රාජත්වය සිංහාසනාරූඨ කැරැවීම තුළින් දෙමළා සහ මුසල්මානුවාට යස පාඩමක් ඉගැන්විය හැකි බව, ඔවුන් අවබෝධ කරගෙන සිටි පාඩමයි. 

ඒ අසිරිමත් මොහොත ආ සැණින්, එය දෝත්මුදුන් දී බදාගැනීම අතිශය දේශපාලනිකයි. නොවැම්බර් 16 වැනි දා වන විට, දෙමළ සහ මුස්ලිම් ජනතාව හැරුණු විට මෙරටේ සිටි අතිශය ප්‍රායෝගික දේශපාලනික සත්ව විශේෂය වුණේ එකී සිංහල බෞද්ධ 'මහාජනතාවයි'. එහි සමාරම්භක මොහොත, දුටුගැමුණු රජුගේ රුවන්වැලි මහ සෑ භූමියෙන් උත්කර්ෂවත් වීම මොන තරම් නම් අහ්ලාදජනක ද? 

78103102 1430200340478610 4946594245180915712 o                                                                

පැහැදිලි කිරීමක් සඳහා මට අවසර: නිමේෂය යනු තත්පරයයි. කාල ඒකකයක් වශයෙන් ගත් කළ එය ක්ෂණයකි. අනිත්‍යයකි. එහෙත් ඒ අනිත්‍ය තත්පරය තුළ ඇති කෙරෙන වෙනස, ඊළඟ තත්පර කෙලකෝටි ගණනක නිත්‍ය ඉරණම තීන්දු කරයි. 1933 යම් දවසක, යුරෝපයේ එකමත් එක රටක මිනිස්සු එක මොහොතක් 'මිස්' කරගත්තේය. ඒ ඉරණම්කාරී මොහොත, ඊළඟට තත්පර තිස්හත් කෝටියක් දිග් ගැස්සෙමින් මුළු ලෝකයක්ම විනාශ කෙළේය. 

ඒ පැහැදිලි කිරීම මා කෙළේ, ලංකාවේ අනාගතය අරභයා 'ජාතික ජන බලවේගය' නමැති දේශපාලනික අට්ටාලයට පැවරෙන පශ්චාත් වගකීම අවධාරණය කිරීමට ය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පස් අවුරුදු යහපාලන ක්‍රියාකලාපය ඒ වගකීමෙන් නිදහස් වන බවක් මෙයින් කොහෙත්ම අදහස් නොවේ. 

එහෙත් මගේ මාතෘකාවේ නිමිත්ත වන්නේ, අවශ්‍ය කරන මොහොතේ අවශ්‍ය කරන නිවැරදි දේශපාලනික තීන්දු ගැනීමේ අතපසුවක් අරභයා පැවරෙන දේශපාලනික සහ සදාචාරමය වගකීම වන බැවින්, එම අට්ටාලය පමණක් මේ ලිපියේ මගේ ඉලක්කය බවට පත්වෙයි.

මේ කියන ජනබලවේගය හුදු පුද්ගල ඒකරාශියකි. එය, බලවේගයක් වෙනුවට අට්ටාලයක් යනුවෙන් මා හඳුන්වන්නේ එබැවිනි. ජන බලවේගයක් යනු ජනතා කොටස් පෙළගස්වන නියෝජනාත්මක ව්‍යාපාරයකි. ඒ අරුතින් ගත් විට, සැබවින්ම 'ජාතික ජන බලවේගය' තුළ පැවතියේ, ජනතා විමුක්ති පෙරමුණ නමැති, පීඩිත ජනතාව වාමවාදී රාමුවක ඒකරාශී කිරීමේ ව්‍යායාමයේ දීර්ඝ කාලයක් තිස්සේ අසාර්ථකව නිරතව සිටින පක්ෂය පමණි. ඒ පක්ෂයේ වාටිය වටේ, කලාකරුවන් අතලොස්සක් (ඒ පිරිස 132 ක් බව කියැවුණි) සහ ආචාර්ය මහාචාර්ය ආදී බුද්ධිමත්තු තව දුසිමක් දෙකක්ද සිටියහ. ඔවුන් පසුපස ජනබලවේග තිබුණේ නැත. පැවතියේ නාමධාරී අගයක් පමණි. 

පුහු ප්‍රදර්ශනකාමීන් සහ බකපණ්ඩිතයන්:

මේ පිරිස විවිධාකාර ය. ඉන් බහුතරය, දේශපාලනයේ සංකීර්ණ ගතිකත්වයන් පිළිබඳ වැටහීමක් නැති, අහිංසක සහ අව්‍යාජ මිනිසුන් ය. ඔවුන්ගේ අභිලාෂය ගරුකටයුතු ය. ඔවුහූ තමන්ගේ කීර්ති නාමයන් එම ව්‍යාපාරයට පොලී රහිතව ණයට දුන්හ. එහෙත් සංගත දේශපාලනික ගතිකත්වයක් විසින් එම අභිලාෂය ඔපමට්ටම් නොවන තාක් හෙවත් තමන් දෙන ණය සඵල ආයෝජනයක් නොවන තාක්, එය අපතේ යන අපේක්ෂාවක් වන බව ඔවුහූ නොදත්හ. ඉතිරි පිරිස සමන්විත වුණේ පුහු ප්‍රදර්ශනකාමීන්ගෙන් සහ බකපණ්ඩිතයන්ගෙනි. 

ප්‍රදර්ශනකාමියා, ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂය, තමන්ගේ පුද්ගල බැබළීම සඳහා පාවිච්චියට ගත්තේය. කිසි දවසක දහස් ගණන් ප්‍රේක්ෂාගාරයකට කතා කොට නැති මොවුහූ, ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ සිටීමට ලැබීම පවා මහත් වූ අහ්ලාදයකට හේතුවක් කරගත්හ. විටෙක එය, කුරිරු විකාරරූපී බවක්ද ගත්තේය. 

ඒ කෙතෙක්ද යත්, ඡන්දයට දින දෙකක් තිබියදී, මැතිවරණ කොමිසම ඉදිරියට ගොස් 'අනිද්දා' පුවත්පතට විරුද්ධව පැමිණිලි කිරීමට පවා එවන් සමහරෙක් පියවර ගත්හ. ඒ තරමට, අනුර කුමාර දිසානායකටත් වඩා ජේ.වී.පී. වීමේ ප්‍රහර්ෂයෙන් පෙළෙන පිලිස්තීනුවන්ගේ තත්වයට ඔවුහූ පත්වූහ. ඉතිරි බකපණ්ඩිතයෝ, ලැඛෙන හැම අවස්ථාවකම, මාක්ස්ගේ බාප්පලා වීමට බැලුහ.

(මේ ලිපියේ ඉතිරි කොටසට යාමට මත්තෙන් එක් අනාවැකියක් ලියා තබමි: ඉදිරියේ එළැඹීමට නියමිත අර්බුදකාරී තත්වයන් තුළ මේ පිලිස්තීනුවන් සහ බකපණ්ඩිතයන් නොකර සද්දෙන් ලිස්සා යනු ඇත. ශක්තික සත්කුමාර කෙනෙකු අලූත් පාලනය යටතේ අත්අඩංගුවට පත්වුවහොත්, කලාකරුවාට වුවත් වල්බූරු නිදහසක් තිබිය යුතු නැතැයි ඔවුන් ප්‍රසිද්ධියේ කියනු ඇත. අනියම් අල්ලසක් වශයෙන් කලාකරුවන් සඳහා වාහන සහන ණයක් පාලකයන් දුන්නොත්, එය පාලකයාගේ නොව ජනතාවගේ මුදල් යැයි කියමින් පෝලිමේ ගොස් දෙකට නැමී ලබාගනු ඇත).

ECQm3QSUcAA eFl                                                             
යහපාලනයේ අදූරදර්ශී ක්‍රියාකලාපය විසින් ඇති කොට තිබූ මහජන කලකිරීම තුළ තවත් සත්ව වර්ගයක් බෝ කොට තිබුණි. ඔවුන් තමන්ව හඳුන්වාගත්තේ, වෙනත් ලොවක සිට අපව ගලවා ගැනීමට පැමිණි කෝකටත් තෛලකාරයන් වශයෙනි. ඒ ව්‍යාපාරයේ මුලින්ම සිටියේ, කලකට ඉහතදී අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අමු හොරෙකි. ඔහු මොන තරම් තක්කඩියෙකු වීද යත්, නාමයෝජනා භාරදීමට කලින්ම තමන්ව තරගයෙන් ඉවත් කරගැනීමට හේ සමත් විය. ඉතිරි කිහිප දෙනා නෝන්ජල් ය. ඉතිං, අවසානය දක්වාම ගොස් 'දඩාස්' ගා බිත්තියේ හැප්පුණි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ හතරක් හෙවත් සියයට 3 ක් ලබාගත්තේය. ඔවුන්ගේ පූර්ව මැතිවරණ තක්සේරුව වී තිබුණේ ඡන්ද මිලියනයක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවකි. ඉහතින් කී විකල්ප තෙල්කාරයන්ගේ තක්සේරු තරමටම මේ තක්සේරුවත් වැරදුණි. සජිත් ප්‍රේමදාසගේ තක්සේරු සියල්ලත් වැරදුණි. කොටින්ම, රාජපක්ෂ කඳවුරේ තක්සේරු පවා වැරදුණි. එහෙත් ඒ අනිත් පැත්තට ය. එනම්, වැඩි ඡන්ද 15 ලක්ෂයක බහුතරයක් ගැන ඔවුන් සිතා තිබුණේද නැත. මේ නිසා, මේ රටේ පොදු ජනතාව යැයි ගැනෙන 'අල ගෝනිය' (ගොවි පංතිය හැඳින්වීමට මාක්ස් භාවිත කළ සාදෘශ්‍යය) විසින් මෙවර ජාතික වරණයේ සමස්ත සංයුතිය පෙර නොවූ විරූ අයුරින් අවුල් කොට තිබේ.

ඇස්තමේන්තු වැරදී යාම, ඉහත කී කිසි කණ්ඩායමකට එරෙහිව නැගිය යුතු චෝදනාවක් කරගත යුතු නැත. එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික විනිශ්චය පිළිබඳ ප්‍රශ්නය එසේ මගහැර යා හැක්කක් නොවේ. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැන් ලැබී ඇති ජයග්‍රාහකයාගේ අවසාන ප්‍රතිඵලය කෙරෙහි 'සෘජුව' බලපා නැතත්, ඒ නිසාම, ලැබී ඇති ප්‍රතිඵලයට ඔවුන් 'සෘජුව' වගකිව යුතු නැතත්, වෙනම තරග කිරීමට ඔවුන් ගත් දේශපාලනික විනිශ්චය බරපතල ප්‍රශ්නකාරීත්වයක් මතු කරන බව බැහැර කළ නොහැක.

දෙන්නෙක් හෝ තුන් දෙනෙක් වෙඩි තබති. එක් අයෙකුගේ උණ්ඩය පමණක් නිශ්චිත ඉලක්කයට යන අතර සෙස්සන්ගේ ඉලක්කය මගහැරෙයි. අදාළ පුද්ගලයා ඝාතනය වුණේ තමන්ගේ තුවක්කුවෙන් නික්මුණු උණ්ඩයෙන් නොවන්නේය යන්න, ඝාතනය කිරීමට ගත් ප්‍රයත්නය පිළිබඳ සාපරාධීත්වය අහෝසි කරන්නේ නැත.

ජවිපෙ දෙවැනි මනාපය !

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, මැතිවරණයට පෙර අවසාන රූපවාහිනී සංවාදයේදීත්, දෙවැනි මනාපය කිසිවෙකු සඳහා පාවිච්චි නොකළ යුතු බව අවධාරණයෙන් කීවේය. ඊට වෙනස් අදහසක් ලාල්කාන්න ඊට පෙර කිහිප වතාවක්ම කියා තිබියදී, අවසාන මොහොතේ විජිත හේරත් එසේ කියූවේ ඇයි? මෙය, (අර අට්ටාලකාරයන් නොව) ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ඉදිරි දේශපාලන දැක්ම අරභයා පැහැදිලි කරගත යුතු කේන්ද්‍රීය කාරණයකි. 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි මනාපය පාවිච්චි විය හැකිව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවයි. එවැනි ශක්‍යතාවක් විජිත හේරත් අවසාන මොහොතේ ව්‍යර්ථ කිරීම තුළින් ගම්‍ය වුණේ, ගෝඨාභයගේ ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයකට වඩා තමන් සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් විය හැකි බවට විජිත හේරත් (සහ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනික විඥානය තුළ) පැලපදියම්ව තිබූ අදහසක් විය නොහැකිද? 

තමන්ගේ දෙවැනි මනාපය ගෝඨාභයට එරෙහිව පාවිච්චි වීමට තිබූ වියහැකියාව අවසාන මොහොතේ ව්‍යර්ථ කිරීමෙන් විජිත හේරත් අපේක්ෂා කළ හැකිව තිබූ වෙනත් කිසි දේශපාලනික වාසියක් ගැන අපට සිතගත හැක්කේද? කිසිවක්ම නැත.

(ගාමිණී වියන්ගොඩ- දේශපාලන විචාරක හා ප්‍රවීන සාහිත්‍යවේදී )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...