The Leader News
BREAKING
Top Ad
Opinion

සමාවෙන්න, දරුවනේ -(කාන්ති කාරියවසම්)

T

The Leader Desk

April 5, 2022 • 9:35 AM

සමාවෙන්න, දරුවනේ -(කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය නාලිකා වල විකාශනයවූ, පේරාදෙණි සරසවි සිසු විරෝධය වීඩියෝ පට නැරඹු විට දැනුණ සිත්තැවුල, පරාජය මුසු වරදකාරී හැඟීම ඉමහත්ය.
  • වික්ටෝරියානු සදාචාරාත්මක වටිනාකම් වලට මුල්තැන දුන් බාලිකා පාසැලකින් අධ්‍යාපනය ලැබ පේරාදෙණි සරසවි වරම් ලත් මම 1976 වර්ෂයේදී පේරාදෙණියේ පළමු වසර සිසුවියක වීමි.
  • ඒ හේතුව නිසාම නිදහසේ තෝතැන්නක්වූ පේරාදෙණි සරසවිය ඇතැම් සිසුවියන්ගේ ජීවිත අවුල් කරදැමූ අවස්ථා ගැන ඇතැමුන් තාරබරද සහිතව කිවූ කතාද බහුලය.
  • ඒවා කෙසේ වෙතත් ජීවිතයේ සුන්දරම කාලය කුමක්දැයි යමෙකු ඇසුවහොත් අවිවාදයෙන්ම පේරාදෙණි සමය බව මගේ පිළිතුරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 


තාරුණ්‍යය උතුරා හැලෙන ඒ මුහුණුත්, ඔවුන්ගේ හදවතින්ම නැගෙන ඉතා සංවේදී මෙන්ම උද්වේගකාරී වචනත් ඇසුනවිට මගේ මනස නිතැතින්ම දිවගියේ 1976 වර්ෂයටයි.

වික්ටෝරියානු සදාචාරාත්මක වටිනාකම් වලට මුල්තැන දුන් බාලිකා පාසැලකින් අධ්‍යාපනය ලැබ පේරාදෙණි සරසවි වරම් ලත් මම 1976 වර්ෂයේදී පේරාදෙණියේ පළමු වසර සිසුවියක වීමි. එකල බොහෝ දැරියනට පාසැලෙන් (විශේෂයෙන්ම බාලිකා පාසැල් වල) මෙන්ම නිවසෙන් ලැබුණු නිදහස ඉතාමත් සීමිත විය.

ඒ හේතුව නිසාම නිදහසේ තෝතැන්නක්වූ පේරාදෙණි සරසවිය ඇතැම් සිසුවියන්ගේ ජීවිත අවුල් කරදැමූ අවස්ථා ගැන ඇතැමුන් තාරබරද සහිතව කිවූ කතාද බහුලය. ඒවා කෙසේ වෙතත් ජීවිතයේ සුන්දරම කාලය කුමක්දැයි යමෙකු ඇසුවහොත් අවිවාදයෙන්ම පේරාදෙණි සමය බව මගේ පිළිතුරයි.

1976 අප්‍රියෙල් මස, නවක සිසුවියක් ලෙස අනාගතය පිලිබඳ මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන, සරසවියට ඇතුල් වෙද්දී පේරාදෙණි විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය අපව පිළිගැනීමට සැදී පැහැදී සිටියහ. ශිෂ්‍ය සංගමයේ සහෝදර සිසුන් බොහෝ දේවල් පිළිබඳව අපව දැනුවත් කලත්, එක් සහෝදර සිසුවකු පැවසූ කරුණක් අද දක්වාම මතකයේ ඇත.

 

" සරසවි සිසුන් පිළිබඳව බාහිර ලෝකයාගේ ඇත්තේ අප තාරුණ්‍යයෙන් අන්ද මන්ද වූ පිරිසක් යන ආකල්පයයි. එය එසේ නොව අප ඉතාම වගකීමෙන් කටයුතු කරන, රටේ අනාගතය බාර ගැනීමට පුහුණුවීම් ලබමින් සිටින බුද්ධිමත් පිරිසක් බව ඔවුනට පෙන්වීම අපේ වගකීමයි" ඔහු පැවසීය. ඉතා ආකර්ෂණීය කතාවක් යැයි මට හැඟුණ ඒ කතාව කල සහෝදර සිසුවා මා ඉන්පසු හැඳින්වූයේ "අන්ද මන්ද" යන අන්වර්ථ නාමයෙනි. 

 

සීමිත ජීවිත අවබෝධයකින් යුතුව සරසවියට ඇතුළුවන කාලයේ, සේවක වැඩ වර්ජන ගැන අසා තිබුණත්, සිසු වර්ජන ගැන අසා තිබුණේම නැත. විවිධ පරිවර්තන මැද ක්‍රමයෙන් සරසවි දිවියට හැඩ ගැසෙද්දී, මණ්ඩපාධිපතිට එරෙහිව පැනනැගී සිසු-සේවක සටනක් ගැන තොරතුරු අසන්නට ලැබුණි. නවක සිසුවියක් ලෙස ඒ ගැන එතරම් අවබෝධයක් නොතිබුණත් මණ්ඩපාධිපති ගෙනගිය පටු, අත්තනෝමතික සහ අදූරදර්ශි ක්‍රියාකලාපය ඊට හේතුපාදක වී ඇතැයි දැනගන්නට ලැබුණි.


weee 

නොවැම්බර් මාසයේ දිනක රාත්‍රියේ සිසුන් සෙනේට් මන්දිරය වටකර, මණ්ඩපාධිපති කොටු කරගෙන පසුදා උදේ වනතුරුම රඳවා තබාගෙන ඇත. පසුදා උදේ මේ ගැන දැන ගත්විට ඇතිවූ කුතුහලය නිසාම අපද සෙනේට් මන්දිරය අසලට ගියෙමු. මණ්ඩපාධිපති මුදා ගැනීමට පොලීසිය සෙනේට් මන්දිරයට ඇතුළුවීමට කල උත්සාහයට විරෝධය පෑමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් අසල සිටි නවක සිසුවකුවූ වීරසූරිය සොයුරා මියැදුණි. එය ලංකා ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසයේ ප්‍රථම ශිෂ්‍ය ඝාතනය විය.

එතෙක් නාමිකව ඇතිව තිබූ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ), එයින් පසුව සිසුන් වෙනුවෙන් පමණක් නොව පොදු ජනතාව වෙනුවෙන් ද සටන් කරන ව්‍යාපාරයක් බවට පත්විය.

1978 මුල් භාගයේදී පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය, විද්‍යා පීඨ සිසුවකුවූ ශාන්ත බණ්ඩාර සොයුරාගේ නායකත්වය යටතේ, විරෝධතා පාගමනක යෙදුනේ නව ව්‍යවස්ථාවට (රටට වින කැටූ අසීමාන්තික බලතල සහිත විධායක ජනාධිපති ධුරය සහිත) සහ අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ලබාදෙමින් තිබූ හාල් සලාකය කැපීමට එරෙහිවය.

මේ නිසා ඔහු ඇතුළු සිසුන්  කිහිප දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි විය. ඉන්පසු වසර දෙකක් අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ ඔහු පසුව ඝාතනයට ලක්විය.

324

ශාන්ත බණ්ඩාර

මා නවක සිසුවියකව සිටි 1976 සිට, මේ දක්වා සරසවි සිසුන්ගේ දෛනික ජීවන, අධ්‍යාපනික හෝ ආර්ථික තත්ත්වයේ දියුණුවක් වී ඇතිද?  මා සමග එකම කාලයේ සරසවියේ සිටි ශාන්ත බණ්ඩාර සොයුරා තම ශිෂ්‍යභාවය පමණක් නොව, පසුව ජීවිතයද පුදා ලබාගත් දෙයක් ඇතිද?

ඔහුගෙන් පසු අන්තරේ කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කළ ඉංජිනේරු, නීති, ශාස්ත්‍ර, වෛද්‍ය, පීඨවල සිසුන් ගණනාවක් මෙන්ම අනෙකුත් බොහෝ සරසවි සිසුන්ද  සිය ජීවිත වලින් වන්දි ගෙවූහ.

 

ඔවුන් සටන් කලේ ඔවුන්ගේ මඩි තර කර ගැනීමට නොවේ. ඔවුන් සටන් කලේ රැකියා විරහිත උපාධිධාරින්ගේ අයිතීන් දිනා ගැනීම, අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කිරීම, ඝාතනයන්ට එරෙහිව රටපුරා උද්ඝෝෂණය කිරීම, පෞද්ගලික වෛද්‍ය විදුහල ජනසතු කරගැනීම, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාර දියත් කිරීම වැනි පොදු, සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන දේවල් උදෙසාය.

 

ඊයේ දිනයේදී මම නැවතත් අවුරුදු 46 කට පෙර දුටු ඒ තාරුණ්‍යයේ ජවය මෙන්ම හදවත පත්ලෙන් නැගෙන අව්‍යාජත්වය, සිය පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කල පේරාදෙණි සරසවියේ සිසුන්ගේ මුහුණු වල දුටිමි.

එදා අප සමග සිටි, අද අප සමග නැති, අයිතිවාසිකම් වෙනුවෙන් එදා උද්ඝෝෂණය කල සරසවි සොහොයුරන් ගැන සිතීමෙන් මට ඉමහත් කම්පනයක් ඇතිවිය. ඔවුන් දිවිපිදූ ඒ සටන මල්පල ගැන්විනිද?

එදා ශිෂ්‍ය සංගමයේ අපව පිළිගත් සහෝදර සිසුවා කිවූ පරිදි "ඉතාම වගකීමෙන් කටයුතු කරන, රටේ අනාගතය බාර ගැනීමට පුහුණුවීම් ලබමින් සිටින බුද්ධිමත් පිරිසක් බව ඔවුනට පෙන්වීම අපේ වගකීමයි" යන්න ඉටු කිරීමට අප සමත්වීද? සමත්වූවා නම් දේශය පාලනය කිරීමට (නිවැරදි යෙදුම දේශය විනාශ කිරීමට) චෞර, අඳබාලයන් රැසක් පත්වූයේ කෙසේද? ඔවුන් ඒ තැන් වලට පත්කලේ කවුරුන්ද?

එදා පේරාදෙණි සරසවියේ සිටි අපේ පරපුරේ අය අසමත් වූ නිසා, ඒ බර කර ගැසීමට අද සරසවි සිසුනට සිදුව ඇත. ඒ ගැන මම ඔවුන්ගෙන් සමාව අයදිමි.

 

එසේම අප දැන් සිටින්නේ රට අගාධයට ඇදෙමින් පවතින අවසාන හෝරාවේය. දැන් කරළියට පැමිණ ඇති කිඹුල් කඳුළු සලන්නන්ගේ  බොරු වලවල්, දෙපිට කාට්ටුවන්ගේ මර උගුල් වලට අසුවීම් වළකා, විචාර බුද්ධියෙන් කටයුතු කිරීමට හැකි ආකාරයෙන් හැකිතාක්‌ ජනයා දැනුවත් කිරීම අපට තවමත් කලහැකියැයි මට සිතේ.



image(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com



ලේඛිකාවගේ වෙනත් ලිපි :
 
අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)

අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්



Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...