The Leader News
BREAKING
Top Ad
Opinion

නායකයෙකු සොයන පuzzle එක (6) : විචාරශීලී ඡන්දදායකයෙකු සොයා යෑම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

T

The Leader Desk

March 13, 2026 • 10:14 AM

නායකයෙකු සොයන පuzzle එක (6) : විචාරශීලී ඡන්දදායකයෙකු සොයා යෑම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සති කිහිපය පුරාම අපි කතා කළේ ශ්‍රී ලංකාව “වීර නායකයෙකු” සොයන සමාජයක් බවට පත්ව ඇති ආකාරය පිළිබඳවය.
  • මෙම ලිපියේ මූලික තර්කය වන්නේ: “පරිවර්තනීය නායකයෙකු බිහිවන්නේ විචාරශීලී පුරවැසියන් සහ විචාරශීලී ඡන්දදායකයන් ඇති සමාජයක පමණි”.
  • මෙහි පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ඇත: නිෂ්ක්‍රීය ඡන්දදායකත්වය බොහෝ විට ජනතාවගේ දේශපාලන සහභාගිත්වය ඡන්දය දමන දිනට පමණක් සීමා වෙයි.
  • මෙම න්‍යාය අනුව දිගු කාලයක් පුරා එකම මාධ්‍ය පණිවිඩයට නිරාවරණය වන විට, එකම පණිවිඩය හැමතැනම ඇහෙන කොට දකිනකොට ජනතාව ඒවා සත්‍ය ලෙස පිළිගනී.
අකුරු ප්‍රමාණය (Font Size):


අර්බුදයක් එන විට අපි සොයන්නේ පද්ධතියක් නොව, විසඳුමක් ගෙන එන “කෙනෙකු” ය.

එහෙත් මෙහි මූලික ප්‍රශ්නය තවමත් අපි අහන්නේ නෑ. පරිවර්තනීය නායකයෙකු (Transformational Leader) සමාජයකින් උපදිනවාද?
නැතිනම් ජනතාව විසින් නිර්මාණය කරනවාද?


මෙම ලිපියේ මූලික තර්කය වන්නේ:

“පරිවර්තනීය නායකයෙකු බිහිවන්නේ
විචාරශීලී පුරවැසියන් සහ
විචාරශීලී ඡන්දදායකයන් ඇති සමාජයක පමණි”.
එවැනි පුරවැසියන් නොමැති විට
නායකයන් පරිවර්තනය නොකරයි.
ඔවුන් ජනතාවගේ දුර්වලතා භාවිතා කර බලය අල්ලා ගනියි. බලයේ රැඳී සිටියි.

විචාරශීලී ඡන්දදායකයා කියන්නෙ මොන වගේ කෙනෙක්ටද?


අපි “ඡන්දදායකයා” කියන විට බොහෝ විට අදහස් කරන්නේ ඡන්ද පෙට්ටියට ගොස් ඡන්දය දමන පුද්ගලයෙකු හඳුන්වා දෙන්නටය.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දදායකයා යනු දේශපාලනික තීරණයකට සෘජුවම බලපාන පුරවැසියෙකි. මානව වර්ගයාගේ යහපතට සහ පැවැත්මට තීරණාත්මක මැදිහත්වීමක් කරන අයෙකි. එහෙත් “විචාරශීලී ඡන්දදායකයා” කියන්නෙ ඊටත් වඩා ගැඹුරු අදහසකි.

විචාරශීලී ඡන්දදායකයා කියන්නෙ:

 

2024 09 21t090550z 793866513 rc2s4aavfei0 rtrmadp 3 sri lanka election copy
• ප්‍රචාරණ දැන්වීමකින් හෝ  සමාජ මාධ්‍ය සටහනකින්  රැවටී  හෝ රැල්ල දැක තීරණ ගන්නා අයෙක් නොවෙයි;
• තොරතුරු විමසා බලන පුද්ගලයෙකි;
• නායකයන් ප්‍රශ්න කරන පුද්ගලයෙකි;
• ප්‍රචාරණයට නොව සාක්ෂිවලට අවධානය දෙන පුද්ගලයෙකි;
• පෞද්ගලික හෝ ක්ෂණික ලාභ වලට නොව දිගුකාලීන සමාජ යහපත සිතන පුද්ගලයෙකි;
• ක්ෂණික තීරණ ගන්නවා වෙනුවට  සමස්ත තොරතුරුවලින් සන්නද්ධ වී හොඳට හිතාමතා තීරණ ගන්නා පුද්ගලයෙකි. ‍

එවැනි ඡන්දදායකයෙක්
ජනකාන්ත නායකයකු නොව පරිවර්තනීය නායකයෙක් නිර්මාණය කරයි.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා: විචාරශීලීද, නැතිනම් අනුගාමිකයෙකුද?

 

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය විමසා බලන විට
අපට පෙනෙන්නේ වෙනත් රටවල් වලට වඩා වෙනස් රටාවකි.

මෙහි දේශපාලනය බොහෝ විට ගොඩනැගෙන්නේ:

 

team ideation
• හැඟීම් බර සම්බන්ධතා ගොඩනගන නායකයන් වටා
• පවුල් දේශපාලනය සහ මුදල් ඇති අය වටා
• හැඟීම් උද්දීපනය කරන ප්‍රචාරණ වටා
• පුද්ගල ප්‍රතිලාභ, ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය සහ ජනතාවාදය වටා
එම නිසා ඡන්දදායකයා බොහෝ විට
විචාරශීලී පුරවැසියෙකු ලෙස නොව
අනුගාමිකයෙකු ලෙස හැසිරෙයි.

මෙහි පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ඇත:

නිෂ්ක්‍රීය ඡන්දදායකත්වය


බොහෝ විට ජනතාවගේ දේශපාලන සහභාගිත්වය
ඡන්දය දමන දිනට පමණක් සීමා වෙයි.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය
ඡන්දයක් දාන්නට පමණක් නොව,
අඛණ්ඩ පුරවැසි සහභාගිත්වයකි.

ve56u56
රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණයට අහුවීම

මහජන මතය ගොඩනගන ක්‍රමවේදයන් ගැන කතා කරන විට සන්නිවේදන විද්‍යාවේ “Cultivation Theory” යන සංකල්පය අපට මතක් වේ. මෙම න්‍යාය අනුව දිගු කාලයක් පුරා එකම මාධ්‍ය පණිවිඩයට නිරාවරණය වන විට, එකම පණිවිඩය හැමතැනම ඇහෙන කොට දකිනකොට ජනතාව ඒවා සත්‍ය ලෙස පිළිගනී. අද සමාජ මාධ්‍ය යුගයේ මෙම ක්‍රියාවලිය තවත් වේගවත් වී ඇත.

• ව්‍යාජ තොරතුරු
• සංස්කරණය කළ වීඩියෝ
• හෙජමොනික (Hegemony), අධිපතිවාදී(Dominant)   සහ පාලනය කරන ලද (Manipulated) ප්‍රචාරණ
මගින්ඡන්දදායකයන්ගේ සිත ගොඩනගයි. ඡන්දදායකයාගේ කැමැත්ත නිෂ්පාදනය කරයි. (manufacturing consent).

විචාරශීලී නොවන සමාජයක මෙම ප්‍රචාරණය දේශපාලනික මනෝවිද්‍යාත්මක බලපෑමක් බවට පත්වේ.

ඒකමාණික දේශපාලනය (Stereo type politics)

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන තීරණ විමර්ශනයෙන් නොව පූර්ව වශයෙන් උපායමාර්ගිකව නිර්මාණය කළ ප්‍රතිරූප මත තීරණය වේ.

 

KPK3815
උදාහරණ ලෙස:
“ශක්තිමත් නායකයෙක්”
“ජාතික නායකයෙක්”
“අපේ මිනිහෙක්”
“පරිත්‍යාගශීලයෙක්”
“ළඟ හිටපු  දුක අහපු මිනිහෙක්”
මෙවැනි  ප්‍රතිරූප ගොඩනගන්නේ
දේශපාලන ප්‍රචාරණ යන්ත්‍රණයයි.

පුද්ගලික ලාභ මත පදනම් වූ ඡන්දය

විචාරශීලී ඡන්දදායකයා රටේ දිගුකාලීන අනාගතය ගැන සිතයි. නමුත් බොහෝ විට අවිචාරශීලී ඡන්දදායකයා

ඡන්ද තීරණ ගන්නේ:
• රැකියා
• පුද්ගලික උදව්
• කෙටි කාලීන වාසි
• බඩුමල්ලක් දුන්නාද, කොපි පොත් ටිකක් බෙදුවාද , කොටහළු ගෙදර, මළගෙදර, මගුල් ගෙදර ආවාද කියා සැලකිල්ලට ගනිමිනි.
මෙය ප්‍රජාතන්ත්‍රවාදය, මානව සංහතියේ යහපත,  සංවර්ධනය ආදිය පාරිභෝගික ගනුදෙනුවක් බවට පත් කරයි.

 

v5y5


විචාරශීලී නොවන ඡන්දදායකයා සහ අසාර්ථක රාජ්‍යය

අද ශ්‍රී ලංකාව බොහෝ විට “අසාර්ථක රාජ්‍යයක්” ලෙස විස්තර කෙරේ.

ආර්ථික අර්බුදය,

පාලන අර්බුදය,

විශ්වාස අර්බුදය මේ සියල්ලටම


අපි සාමාන්‍යයෙන් වගකීම පවරන්නේ නායකයන්ටය.

එහෙත් සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක් මෙහි තිබෙනවා.


නායකයන් පමණක් අසාර්ථකද?
නැතිනම් නායකයන් තෝරාගන්නා පද්ධතියත් අසාර්ථකද?


විචාරශීලී නොවන ඡන්දදායකයන් ඇති සමාජයක:
• ප්‍රචාරණය ජයගනී
• දේශපාලන වංචාව සැඟවෙයි
• වගකීමක් නොමැති නායකයන් බලයට එයි
• මානව සංහතියේ යහපත අතුරුදහන් වෙයි

fhe7uh6u7
ඒ නිසා අසාර්ථක රාජ්‍යය නායකයන්ගේ පමණක් ප්‍රතිඵලයක් නොව අසාර්ථක පුරවැසි සංස්කෘතියක ප්‍රතිඵලයක්ද වෙනවා.

විචාරශීලී පුරවැසියන්ගේ ලක්ෂණ

 

විචාරශීලී පුරවැසියෙක් සමාජයක දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි.

එවැනි පුරවැසියන්ට තිබිය යුතු ලක්ෂණ කිහිපයක්;

තොරතුරු විමර්ශනය

ඔහු හෝ ඇය තොරතුරු සරලව පිළිගන්නේ නැත.
• මූලාශ්‍ර විමසා බලයි
• විවිධ මත වලට ඇහුම්කන් දෙයි
• සාක්ෂි සොයයි
• විවිධ ප්‍රතිපත්ති වැඩසටහන් සංසන්දනය කර බලයි
• හොඳින් ගැඹුරින් සිතා මතා තීරණ ගනියි

නායකයන් ප්‍රශ්න කිරීම

විචාරශීලී පුරවැසියා
නායකයන්ට අභියෝග කරයි.

“ඔබ මෙය කළේ ඇයි?”
“ඔබ ඒක කරන්නේ කොහොමද?”
“මෙය කෙසේ ක්‍රියාත්මක කරන්නේද?”
“ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද?”
“ ඒ සඳහා මුදල් තිබෙනවාද?”
“තාක්ෂණය තිබෙනවාද?”
“ඒ සම්බන්ධව ලෝකයේ අත්දැකීම් මොනවාද?”

78897978

මේ ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතයි.

සක්‍රීය සහභාගිත්වය

විචාරශීලී පුරවැසියා දේශපාලනය “ඔවුන්ගේ වැඩක්” ලෙස නොසිතයි. එය “අපගේ වගකීමක්” ලෙස සිතයි.

 

දිගුකාලීන සමාජ වගකීම

 

ඔහු හෝ ඇය ඡන්දය දෙන්නේ:
• පෞද්ගලික වාසි සඳහා නොව
සමාජ යහපත සඳහාය.


පරිවර්තනීය නායකයෙකු බිහිවන්නේ කෙසේද?


අපි බොහෝ විට සිතන්නේ
පරිවර්තනීය නායකයෙකු
හදිසියේ බිහිවන පුද්ගලයෙකු ලෙසය.
නමුත් ඉතිහාසය අපට වෙනත් දෙයක් කියයි.

“විශාල පරිවර්තන
එක පුද්ගලයෙකුගෙන් නොව
සමාජයක සංස්කෘතික කණ්ඩායම් පරිවර්තනයකින් උපදි”.

විචාරශීලී පුරවැසියන් ඇති සමාජයක:
• දුර්වල නායකයන් දිගුකාලීනව පවතින්නේ නැත
• දේශපාලන වංචාව සැඟවෙන්නේ නැත
• ප්‍රතිපත්ති මත තරඟය ඇතිවේ


එවැනි සමාජයක
පරිවර්තනීය නායකත්වය
අවශ්‍යතාවයක් ලෙස බිහිවේ.


අවසාන ප්‍රශ්නය


අපි දිගු කාලයක්
“රට ගලවන නායකයෙකු” සොයමින් සිටිමු.
නමුත් මෙහි ඇත්ත ප්‍රශ්නය
එය නොවිය හැක.

සැබෑ ප්‍රශ්නය මෙය විය හැක:


පරිවර්තනීය නායකයෙකු බිහිවීමට සුදුසු
විචාරශීලී පුරවැසි සමාජයක්
අපි ගොඩනගාගෙන තිබේද?


එය නැති නම්
අපි සොයන නායකයා
නැවතත්
තවත් “වීර නායකයෙකු” පමණක් විය හැක.

 


ඒ නිසා
ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනය
නායකයෙකු සොයන තැනින් නොව
විචාරශීලී පුරවැසියෙකු නිර්මාණය කරන තැනින්
ආරම්භ විය යුතුය.

(සෙස්ස ලබන සිකුරාදාට)

(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
pnweera@yahoo.com

සබැඳි ලිපි :

නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4 ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප්  එන්’ වීරසිංහ
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...