ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් කුළුගැන්වුණු හා පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාවෙන් එදා ගොඩනැගුණු ජනතාව ඉන් පසු වසරවල පැමිණි කොවිඩ් වසංගතය හා ආර්ථික ව්‍යසනය විසින් විස්ථාපනය කර දැමිණි. ඉන් 'ජනතාව' යළිත් ගොඩනැංවීම සදහා ඉතිහාසය විවෘත වූ අතර දැවැන්ත මහජන අරගලයක ආචාරධාර්මික මැදිහත්වීම තුළින් නව ජනතාවක් 2022 වනවිට (පරිකල්පිතව) ගොඩනැංවිණි. ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය විසින් ආමන්ත්‍රණය කරනු ලැබුවේ එම නව ජනතා සාමූහික පරිකල්පනයටයි.
එහෙත් පශ්චාත් අරගලයේ 'ජාජබ ජනතාව' ද යළි විස්ථාපනය වීමට විවෘත වී ඇති යමකි. අතෘප්තිමත් ආර්ථික-සමාජ ජීවිතය වඩා භෞතිකයක් ලෙස මුණගැසෙන නිමේෂයේදී 'ජනතාව' නම් වූ කතිකාව යළි ගොඩනැගීම සදහා ඉතිහාසය විවෘත වනු ඇත. එහිදී අවශ්‍ය වන්නේ එම ඛණ්ඩනීය ඉතිහාස මොහොතට ආමන්ත්‍රණය කිරීමට සමත් වන ආචාරධාර්මික දේශපාලන නියෝජනයක් පමණී.

දැනට නාමල්ගේ පොහොට්ටුවට එම ආමන්ත්‍රණය කළ නොහැකි බව ඇත්තය. 'වෙනස් වී ඇති ජනතාව' හා පොහොට්ටුවේ ඇමතීම අතර තවමත් විසම්බන්දයක් පවතින බව ද ඇත්තය. එහෙත් 'ජනතාව' නම් වූ කතිකාමය ගොඩනැංවීම යළි වෙනස්වීමට විවෘතව ඇති බවත්, ආණ්ඩුව පිළිබද ජනතාවගේ බැදීම ක්‍රමයෙන් ලිහිල් වෙමින් යන බවත් තේරුම් ගත යුතුව ඇත. විශේෂයෙන්ම දැන් සිටින්නේ දේශපාලන පරිවර්තනයකට අනුමැතිය දුන් ජනතාවක් මිස සමාජ පරිවර්තනයකට ලක් වූ ජනතාවක් නොවන බව ද සිහිතබා ගත යුතුය.
ඒ අනුව අද පොහොට්ටු-එජාප රැළියේ ජන සහභාගිත්වය අවතක්සේරු කරමින් ආණ්ඩු හිතවාදීන් සතුටු වන බවක් පෙනුනද 'ජනතාව' යළිත් නිර්මාණය කෙරෙන දේශපාලන ආකෘතිය කුමක් දැයි සිහිපත් කර දුන් සංඥාවක් ලෙස මෙම ජන රැළිය වටහා ගත යුතුව ඇතැයි සිතමි.

එසේම ක්‍රමයෙන් ජාජබ ආණ්ඩුව තවත් සාමාන්‍ය ආණ්ඩුවක් බවට පත්වෙමින් යන තත්වයක් තුළ දුබල සතුරා වුවද බලපෑම් සහගත සතුරෙකු ලෙස වටහා ගැනීම ආණ්ඩුවේ අනාගත ගමනට යහපති.

(සටහන | විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්




