මෙම වැකිය ඇත්තක් වීමට නම් මෙහි ප්‍රකාශිතය ද බොරුවක් විය යුතුය.
එවිට මෙම වැකිය ද බොරුවක් බවට පත්වේ.
ජනතා විමුක්ති පෙරමුණ මූලික ජාතික ජන බලවේගය ආණ්ඩුව වාමාංශික ඇසකින් බලා ආරක්ෂා කරගත යුතු යැයි කියන්නේ එය දක්ෂිණාංශික විපක්ෂ බලවේගයන්ට වඩා යම් ‘වාම-ජනතාවාදී’ සේයාවක් පළ කරතැයි යන අදහස නිසාය.
මෙම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අභ්‍යන්තර හා බාහිර වාමාංශික මතධාරීන්ට දැන් සිදුවී තිබෙන්නේ ආණ්ඩුව සිය ආරක්ෂිත පැවැත්ම වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ගයන්ට නොඑළඹ සිටීමේ පරිස්සම අනුමත කිරීමටයි. හෝ නිහඩව සිටීමටයි.
මෙහි ක්‍රමික ප්‍රතිඵලය වන්නේ ඉහළ ධනපතීන් ඇතුළු මහා ප්‍රාග්ධනයටත්, අධිපති සංස්කෘතික දෘෂ්ටිවාදයන්ටත් අභියෝගයක් නොමැති පවතින ක්‍රමයටම සම්මුතිගත වූ තවත් සාමාන්‍ය ආණ්ඩුවක් ලෙස ජවිපෙ/ජාජබ ආණ්ඩුව පෙන්නුම් වීම පමණක් නොවෙයි. ඊට අනුලෝමව මෙම ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අභ්‍යන්තර හා බාහිර වාමාංශික මතධාරීන්ගේ/ක්‍රියාධරයන්ගේ විකල්ප ලෝක දැක්ම ක්‍රමිකව හීලෑ වී යාම ද මෙහි ප්‍රතිඵලයක් වනු ඇත.
ඒ අනුව මෙම ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වාමාංශික අක්තපත්‍රය මෙම ආණ්ඩුව මෙසේ ආරක්ෂා කරගැනීම නිසාම අහිමි වී යාමේ විරුද්ධාභාසයක් නිර්මාණයක් වෙමින් තිබෙයි.

ඒ අතර මෙම ආණ්ඩුව නිසා මෙතෙක් පැවති වාමාංශික න්‍යාය පත්‍රයන් අසීරුතාවයක සිරවී සිටීම ද ධනාත්මකය. එසේ නොවීනම් වාමාංශික විකල්ප ලෝක දැක්ම හා එවැනි ක්‍රියාකාරිත්වයන් සුපුරුදු මනෝරාජික තෘප්තිමය අවකාශයේම සීමා වී පවතිනු ඇත. අද වාමාංශික විකල්ප ලෝක දැක්මක් බෙදාගන්නා සංවිධානයන් හා ක්‍රියාකාරීන්ට ප්‍රායෝගිකව පිළිතුරු දිය යුතු අභියෝගයක් මින් විවෘත වී තිබෙයි.
එනම් ආණ්ඩුකරණයේ දෙන ලද තත්වයන් තුළ වාමාංශික-ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් යෝජනා කරන්නේ කෙසේද ? එවැනි ආණ්ඩුකරණ අවස්ථාවක් ලදහොත් විකල්ප වාමාංශික ධාරාව සිය ප්‍රතිපත්තිමය ඉදිරි දැක්ම ප්‍රායෝගිකව ස්ථානගත කරගන්නේ කෙසේද? මෙම පැනයන්ට සංයුක්ත පිළිතුරු හා එසේ කළහැකිතාවයේ වැඩසටහන් ජනගත කිරීම මිස 'අපගේ ඉලක්කය ආණ්ඩුවක් ගැනීම නොව රාජ්‍යයම පෙරළීම' වැනි විප්ලවවාදී වහසිබස් වලින් ද අද කිසිදු අර්ථයක් සිදුවන්නේ නැත.
මේ අනුව විකල්ප වාම ලෝක දැක්මක් මත පිහිටා සිටින දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාධරයන් ආණ්ඩුව ඉහළ ව්‍යාපාරික ධනවතුන් සමග පවත්වන පයුරුපාසානය සුපරික්ෂාවට හා විචාරයට ලක් කළ යුතුය. ආණ්ඩුවේ ප්‍රායෝගික පැවැත්ම නාමයෙන් එය ඉවසා සිටීමට වඩා එම විවේචනාත්මක මැදිහත්වීම අවශ්‍යය. ආණ්ඩුවකට කළහැකි ප්‍රායෝගිකතාවය තුළ පවා වත්මන් ආණ්ඩුවට ගත හැකි ජනතාවාදී විකල්ප ප්‍රවේශයන් පැහැදිලිවම ශේෂව පවතී. එහෙත් ඒ සම්බන්දයෙන් වන ආණ්ඩුවේ අධිෂ්ඨානය දුබලය. මින් කියැවෙන්නේ ඉහළ ව්‍යාපාරික ධනවතුන් බැහැර කරමින් ආණ්ඩුකරණයේ නිරතවීම වැනි මනස්ගාතයක් නොවෙයි. ආණ්ඩුව ප්‍රධාන ප්‍රාග්ධනයේ ස්ථරයන් සමග ශේප් එකේ ගණුදෙනු කිරීමට දක්වන උනන්දුව පහල මාලයේ බහුතර ජනතාව ආර්ථික-සමාජීය වශයෙන් බලගැන්වීමට අදාළව දැනෙන්නේ නැති තරම් ය.

Rebuilding Sri Lanka අරමුදලේ කමිටුවට (රජයේ නිලතල දරන්නන්ට අමතරව) ඉහළ ව්‍යාපාරික හිමියන් පමණක් ඇතුළත් කරගැනීම පිළිබද සැකසංකා මතු වන්නේ ඉහත සන්දර්භය තුළය. 'පක්ෂයේ සමාජවාදීන්' තමන්ට 'විප්ලවීය අවස්ථාව' එනතුරු මෙම 'ධනේෂ්වර උපක්‍රමයට' නොගැවී සිටීමේ සූත්‍රයක් මේ වනවිට ගලපා ගෙන සිටිනවා විය හැකිය. ඒ අනුව ලිබරල් ආර්ථිකකරණයට ලැදියාවක් ඇති ජනාධිපතිවරයාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ඉහළ ධනහිමි ව්‍යාපාරික ස්ථරයට 'ඉහළ සිට පහළට' රට යළි ගොඩනැගීමේ ප්‍රමුඛ වගකීමක් පවරා දී තිබෙයි.
මෙහි වඩාත් ඛේදජනක උත්ප්‍රාසය වන්නේ කාලගුණික ආපාදාවටත් වඩා සිදුවූ පාරිසරික-මානුෂීය ව්‍යසනයට (ඔවුනගේ ගොඩකිරීම් හා තරගකාරී වානිජ ඉදිකිරීම් නිසා) වගකිව යුතු ඉහළ ව්‍යාපාරික බලවතුන් ද මෙම ආපදාවෙන් රට ගොඩගැනීමේ කමිටුව නියෝජනය කර සිටීමයි.
නැවත සිහිපත් කළ යුතු දේ මෙයයි. වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු වන්නේ මෙය අනෙකුත් පරාජිත විපක්ෂ බලවේගයන්ට වඩා 'ජනතාවාදී' ලක්ෂණ දරන නිසා යැයි කියැවේ. අපි ද එසේ දකින්නට කැමැත්තෙමු. එහෙත් වාමාංශික අරුතින් ජනතාවාදී දේශපාලනය යනු 'ජාතිවාදයෙන් තොර යහපත් ආණ්ඩුකරණය' යන්න නොවේ. (එපමණක් නොවේ). ආපදාවට ලක් වූ බහුතර ජනතාව වෙනුවෙන් ජනතාව අතරින්ම අනෝන්‍ය සමාජ ආරක්ෂක ජාලයන් ගොඩනැගෙමින් ඇති (කොමියුනිස්ට් හැගීමේ) ජනතාවාදී අවස්ථාවක 'රට යළි ගොඩනැගීම' සදහා වන අරමුදලේ තක්සේරු, පරිපාලන හා මූල්‍ය-සම්පත් වෙන්කිරීමේ ප්‍රමුඛත්වය (ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් හැර) ඉහළ ව්‍යාපාරික ධනවතුන් පිරිසකට පමණක් ලබාදීම කළහැකිව තිබූ එකම පියවර ලෙස සරලව ගත නොහැක්කකි. පැහැදිළිවම මෙය වනාහී ජවිපෙ/ජාජබ ආණ්ඩුවේ 'ජනතාවාදී' හරය හා එම ඉදිරි ගමන බරපතල ලෙස ප්‍රශ්නකාරී වන සිදුවීමකි.
(සටහන | විදර්ශන කන්නන්ගර)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්




