ජවිපෙ දේශපාලනයේ ඉතා අසීරු කාලවල සිට මේ මොහොත දක්වාම තමා විශ්වාස කළ සමාජ ව්‍යාපාරය වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනීසිටි ඔහුගේ ක්‍රියාකාරී ඉතිහාසය ඩිජිටල් වේදිකාවේ සදාතනික වර්තමානය තුළ අතුරුදහන් වී ඇත.
බොහෝ නරඹන්නන් සිතන්නේ රංවල නමැති පිස්සෙකු පැමිණ අනුරගේ ජනප්‍රිය ආණ්ඩුකරණයට කෙළවමින් ඇති බවය. රංවලගේ සුජාතභාවය කිළිටි වී තිබීම ඔහුගේ පුද්ගලික අවුලකට ඌනනය කිරීමට වඩා තත්වය සංකීර්ණය. රංවලව අපකීර්තියට පත් කෙරුණු කතානායක-උපාධි සිදුවීම යනු ජවිපෙ මහජන දේශපාලනය වෙනුවෙන් ඉස්සරහට දැමූ 'උගත්කම' පිළිබද ප්‍රචාරණයේ මෝඩ ප්‍රතිවිපාකයකි. වාමාංශික දේශපාලනයේ ඕල්ඩ් ස්කූල් නියෝජනයක් වූ රංවල ද ජවිපෙ විසින් එළියට විදාහළ 'උගත් වලිප්පුවට' ගොදුරු විය. රංවල කතානායක පදවිය ඉල්ලා ගත්තේ නැත. එය පිරිනැමීම පක්ෂය ගත් තීරණයකි.
රංවලට අදාළ උපාධිය ඇත්ද නැද්ද යැයි මා දන්නේ නැත. රංවල තමාට උපාධියක් ඇතැයි ජවිපෙ පක්ෂය ඇන්දුවායැයි මා සිතන්නේ නැත. ජවිපෙ (හා පෙසප වැනි) ආකෘතියේ වාමාංශික ව්‍යාපාරයන්ට උපාධි වර්ගයේ තානාන්තරයන්ගේ ඇති ලබ්බක් නැත. එවැනි ආකෘතියේ වාමාංශික පක්ෂයක කාර්‍යභාරය විය යුත්තේ සමාජය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීම අරමුණු කරගත් බුද්ධිමය හා සංස්කෘතික ප්‍රතිසංස්කාරක භූමිකාවක් ප්‍රදර්ශනය කරමින් නව සාමූහික වටිනාකම් පිළිබද අධ්‍යාපනයක් සමාජය වෙත රැගෙන යාමයි. එහෙත් මැතිවරණ දෘෂ්ටිවාදයට අනුගත වීම පමණක් ප්‍රමුඛ කරගත් ජවිපෙ විසින් සිදුකරනු ලැබුවේ තමන් අනෙකුත් පක්ෂ නියෝජනයන්ට වඩා 'උගත් පොරවල්' ටිකක් බව ජනතාවට පෙන්නුම් කිරීමේ වේෂ නිරූපණ වැඩසටහන් දියත් කරලීමයි. අවසානයේ අන්තර් ජාල ජනතාව තුළ සහතික වූයේ රංවල ලෝකයා රවටා කතානායක පදවිය අත්කර ගත්තා වැනි අදහසකි.

ජවිපෙ බලයට පත්වීමෙන් පසු ඩිජිටල් ජනතා වේදිකාව මත සිය 'ශුද්ධවරය' යම් කෙළෙසා ගැනීමකට ලක් කළ පළමු අවස්ථාව වූයේ රංවලගේ 'උපාධි සිදුවීම'යි. එමගින් සිදුවූයේ සමාජ ව්‍යාපාරයක් තේරූ ('උගත් බුද්ධිමත්' කෙරුමන් පිළිබද) මෝඩ දේශපාලන අදහසක වන්දිය සදහා රංවල වැනි තනි පුද්ගලයකු බිලිවීමයි. ඉන් අනතුරුව එකී බිලිපූජාවේ ලැයිස්තුව හදුන්නෙත්ති, හේවගේ, වටගල ඇතුළු තවත් පුද්ගල නාම කිහිපයකින් දිගුවිය.
රංවල ගේ හදිසි වාහන අනතුර සිදුවන්නේ ඔහුව කලකට පෙරම ‘වංචනිකයකු’ ලෙස හංවඩු ගසා තිබූ පසුබිමකය. පැහැදිළිවම මෙම හදිසි අනතුර වනාහී සාමාන්‍ය දෛනික ජන ජීවිතයේ සිදුවිය හැකි වරදකි. එහෙත් 'රංවල නම් වූ වංචනිකයා' වෙත යළිත් ඩිජිටල් වේදිකා ජනතාවගේ ටෝච් එළි දැවැන්ත පරිමාණයෙන් එල්ල වන්නට විය. එය වඩාත් තීව්‍ර වූයේ ඔහු සම්බන්දයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේදී ආණ්ඩුවේ ප්‍රවේශය තුළ සෘජු විනිවිදභාවයක් දක්නට නොලැබීමයි. එහෙත් තාක්ෂණිකව ගත් කළ එහිදී මන්දගාමී ලෙස අක්‍රීය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලීසියයි. ජාජබ ආණ්ඩුව අලුත් පොලිස්පතිවරයකු පත්කර තිබුණද තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ ප්‍රභූ පරාධීන මානසිකත්වයෙන් කටයුතු කරන ජරපත් වැඩ ශෛලියකි. මෙම රංවල සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ එම පක්ෂග්‍රාහීත්වයට නැඹුරුව බව අපැහැදිළි නැත.

ශ්‍රී ලංකා පොලිසීයට සුපුරුදු මෙම නිවට හා නරුම අවස්ථාවාදී ලක්ෂණයන් වෙනස් කිරීමේ ධෛර්‍යයක් ජාජබ ආණ්ඩුවේ බලධාරීන් විසින් තවම පෙන්නුම් කර නැත. ඒ අනුව සිය දේශපාලන සගයා අවදානම් තත්වයකට මුහුණ දී සිටියදී ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට බලකිරීමක් ආණ්ඩුවේ ඉහළ ජවිපෙ නියෝජිතයන් අතින් විශේෂයෙන් සිදුවීමට ඉඩක් නැත.
සියල්ලේ අවසාන නිරූපණය වූයේ ජවිපෙ ආණ්ඩුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව ලවා අශෝක රංවලව ආරක්ෂා කරලනවා වැන්නකි. එහෙත් සූක්ෂමව බැලූ විට දක්නට ලැබෙන්නේ එවැනි පැහැදිළි චිත්‍රයකට වඩා ආණ්ඩුවේම යම් ව්‍යාකූලත්වයකි. එනම් පැරණි දේශපාලන බලවේගයන් කළ ලෙසින් සිය දේශපාලන සගයන් හදිසි අර්බුදයන්ට ලක්වූ විට ඔවුනව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතනයන්ට බලපෑම් කිරීමේ සිරිත පනගැන්වීමට ද ජවිපෙ ආණ්ඩුව ධෛර්‍යමත් නැත. එසේම පොලීසිය වැනි රජයේ ආයතනයන් නීතියේ ආධිපත්‍යය හා අපක්ෂපාතීත්වය මත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් නෛතික දණ්ඩනයේ පටිපාටිය වඩා ක්‍රමවත් කිරීමේ අධිෂ්ඨානයක් ද තවමත් මෙම ආණ්ඩුවෙන් පළවන්නේ නැත.
රංවලගේ හදිසි අනතුරු සිදුවීමෙන් කියවෙන්නේ ආණ්ඩුව පත්ව ඇති මෙම දෙබිඩි චංචල ස්වාභාවයයි.
අශෝක රංවල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම (ඉවත් කිරීම) මේ මොහොතේ ඩිජිටල් වේදිකා ජනතාවට යම් සංකේතාත්මක සහනයක් විය හැකි මුත් එම ජනතා ප්‍රේක්ෂාවේ කේන්ද්‍රීය මනෝභාවය වන්නේම 'අසහනය' යන්න බව ද මෙහිදී සිහිතබා ගත යුතු වේ. ඉදිරියට කී දෙනෙකු කියා ඉල්ලා අස්වෙන්නද ?
ඒ අනුව මෙම සිදුවීම තීරණාත්මක අවස්ථාවක් කරගනිමින් නීතියේ ආධිපත්‍යය වඩා පැහැදිළිව ජීවමාන කිරීමටත්, රාජ්‍යයේ අතිශය වැදගත් පුරවැසි ආයතන පෙරළිකාරී වෙනසකට ලක් කිරීමටත් ජවිපෙ ආණ්ඩුව අධිෂ්ඨාන සහගත විය යුතු වේ. රංවල ප්‍රශ්නය යනු මේ වනවිට සමාජ මාධ්‍යන්ගේ ලුබ්ධිමය කැසිල්ලක් වන මුත් නොවැලැක්විය ලෙස අද යුගයේ වෙනස්කිරීමේ දේශපාලනය මුණගැසෙන්නේ ද එම කැසිල්ලෙන් මතු වන තුවාල හා බිබිලි හරහාය.
(සටහන | විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්




