දෘෂ්ටිවාදයේ ප්‍රදර්ශන ඉලක්ක
ඒ පොදු ගුණාකාරය තමයි සන්නස්ගල මේ සඳහන් කරන ලද වීඩියෝවල කතා කරන්නෙ තමුන්ගේ දෘෂ්ටිවාදය සහ දැනුම් පරාසයෙන් ඉතාම දුරස්ථ සහ ප්‍රතිවිරෝධී පුද්ගලයින් සමග. ඒ නිසා ම ඉතාමත් ශූර විදියට ඔහු මේ අයට ඇහුම්කන් දෙනවා, වැඩිය කතා කරලා ප්‍රශ්න අහනවට වඩා. ඔවුන්ගේ මතවාදය සහ ඔවුන්ගේ ආස්ථානය ප්‍රශ්න නොකර ඉතාමත් ශික්ෂණයක් සහිතව ඒ අයට ඒ අයගෙ අදහස් සහ මතවාදය ප්‍රකාශ කරන්න උත්ප්‍රේරකයක් ලබා දෙනවා. ඒ නිසාම ඒ අයට පුළුවන් වෙනවා ඒ අයගේ 'දෘෂ්ටිවාදයේ ප්‍රදර්ශන ඉලක්ක' ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරන්න.
බයියා සහ ටොයියා

දැං මම කකා කරන්නම් මාතෘකාව ගැන; හැබැයි මම කියපු ප්‍රධාන ප්‍රස්තුතයට අදාළව. සන්නස්ගල පෙනී සිටින්නේ නව ලිබරල්වාදී ප්‍රවේශයක; විශේෂයෙන් ම ටොයි නියෝජනයක. හැබැයි නාමල් කියන්නෙ ලිබරල් පැත්තට බර වෙන්න උත්සාහ කරමින් සම්ප්‍රදායික පවුල් සංස්ථාව තුළ ආරක්ෂාව තහවුරු කර ගන්න බයි ගණයේ තැනක ඉන්න කෙනෙක්. විශේෂයෙන් අම්මා ගේ උපදෙස් සහ පියා මුල් තැන දෙන, පියාට ගරුකරන සහ පියාගේ ආධිපත්‍යය සුරැකෙන පවුල් සංස්ථාව පිළිබඳ තියෙන සංස්කෘතික පරාසය සිඳගන්න ඇති අකමැත්ත සහ එය ම සුරක්ෂිත කිරීම. සහෝදර සමාගම පවුලේ නෑදෑ සහ ඒ සංස්ථාවේ ඇති වැදගත්කම ඔහුගේ චිත්තාවේග ඇතුළෙන් ම එනවා. හැබැයි සන්නස්ගල නියෝජනය කරන්නෙ ඒ්කට සම්පූර්ණයෙන් ම විරුද්ධාභාසයක්.
හැට පැනීම සහ ඉලක්කම
අනෙක් තමයි වයස ගැන ආකල්පය. සන්නස්ගල හැම විටම මේ හැට පැනීම පිළිබඳ බාල ස්වරයකින් කතා කරනවා සහ නාමල් ගේ යෞවනත්වය උත්කර්ෂවත් කරනවා. හැබැයි නාමල් තම වයස ගැන සඳහන් කළාට ඔහු පැහැදිලිවම කියනවා වයස කියන ඉලක්කමට වඩා ඔහු පුද්ගලයින් ගේ හැකියාව අගය කරන වග. අද ලෝක තත්ත්වය පවා young generation එකට මුල් තැන දුන්න ද ඔහු තම පියා ගේ හැකියාව අදටත් බාල්දු කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. මං හිතන්නේ රනිල් ගැනත් ඔහු ගේ ආකල්ප එය විය හැකි යි. ඒ වගේ ම තමයි කොච්චර වයසක් ගියත් නොහැකි නම් නොහැකි පුද්ගලයින් පීනන්නට දාන එකටත් ඔහු විරුද්ධයි.
නාමල් ගේ ජාතිකවාදී සිංහල බෞද්ධ ළැදියාව

ඊළග ප්‍රධාන කරුණ තමයි ජාතිකත්වය පිළිබඳ ආකල්පය. තනිකර නිරාගමික භෞතිකවාදී අස්ථානයක සිටින බව පෙන්වන සන්නස්ගල සහ නාමල් ගෙ ජාතිකවාදී සිංහල බෞද්ධ ආස්ථානය. මොකද ඔහුගේ ඡන්ද පදනම මේ මත තමයි රදා පවතින්නෙ. ඉතිං ඒ ගැන ඔහු පැහැදිලිවම විශ්වාසයක් තියෙනවා; නැවතත් ඒ සිංදුව බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිය ඔහු තුළ රැඳී තිබෙනවා. ගෝලීය නැමියා හමුවේ සංස්කෘතික වීම වෙනුවට සංස්කෘතික උරුම ප්‍රතිනිර්මාණය ගැන ඔහු විශ්වාසය තියන බව පැහැදිලි කරනවා. නාමල් ක්‍රීඩාව තුළ ඔහු ලැබු පන්නරය ජීවිතයට ගළපා ගැනීම නම් ඇත්ත වශයෙන් ම ක්‍රිඩාවේ පරමාර්ථය ඉවත දමා ක්‍රිඩාව වාණිජකරණයට පත්කර ඇති සමාජයට දුන් අතුල් පහරක්. මම ඒකට නම් කැමතියි. මොකද JVP පවා ආවේ 3% සිට ඒ කට්ට කාගෙන අසීරු දිගු ගමනක. එවැනි Long March එකක් යන්න එයාගෙ සූදානම පේන්න තියෙනවා.
යා නොවන රත නොරත
පරෙස්සම් විය යුතු කතා තමයි ඔහු බලාපොරොත්තු වන deregulation කතාව. මේක ගැන වර්තමාන ආණ්ඩුව වුව ද ඉතා පරෙස්සමෙන් අත ගහන්න ඕන ගේමක්. මතකයි නෙ deregulation කරලා ඇමරිකාවට වුණු දේ 2008 දී. කොහොම වුණත් ලංකාවේ bottleneck බොහෝම වැඩියි තමයි. හැබැයි බෝතල් කටවල් කපන්න ගිහින් අත් කපා නොගත යුතුයි. මේ කරුණට අමතරව නාමල් කතා කළ හැම දෙයක ම තියෙන්නෙ රාජපක්ෂවාදය ලිබරල්කරණය කිරීමේ උත්සාහයක් බව නම් පැහැදිලියි. මොන ලිබරල්වාදී කතා කළත් ඔහුගේ ස්ථාවරය ඇතුළෙ සම්ප්‍රදායික සිංහල බෞද්ධ ජාතිකවාදය ශක්තිමත්ව තියෙන බව පේනවා. මේක යා නොවන රත නොරතක්.
සන්නස්ගල තනා දුන් වේදිකාව

යමෙක් ජාතිකවාදය ගැන කරන්නේ නම් ලංකාවේ එය සාර්ථක වීමට 'සිංහල බෞද්ධ ජාතිකවාදය' වෙනුවට 'බෞද්ධ දාර්ශනික ජාතිකවාදය' ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියන එක තමයි මගේ නම් අදහස. එහෙම නැත්නම් ඒ ජාතිකවාදය ලංකාවේ ජාතිවාදය කරා විතැන් වෙනවා. හැබැයි ඔහු ඉතාම හොඳ සංයමයක් ඇතිව කතා කළා. ඒක හොඳ ලකුණක්; විකල්පයක් සඳහා. ඔහුට හදිස්සියක් නැතිව ඉන්න බවක් නම් පේනවා. කල් ගැනීමක් සහ හොඳින් සංවිධානය වීමේ සැලැස්මක් තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. පූරකයා ලෙස සන්නස්ගල එයට හොඳ වේදිකාවක් සදා දුන්නා.
(සටහන | Sumana Wijeratne)
Writer
උපුටා ගැනීම - Sumana Wijeratne ගේ ෆේස්බුක් පිටුවෙන්...




