එවැන්නක් කළ හැකි හොඳම වේදිකාව විය හැකිව තිබුනේ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනයයි. එවැන්නක් අපට නැති නිසා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ අකැමැත්තක් වෙත්නම් හැර පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඒ කටයුත්ත ඉටු කිරීම අපහසු වෙන්නට හේතුවක් නැත. එය මහජන අරමුදලින් යැපෙන රාජ්‍ය මාධ්‍යයවල වගකීමකි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ අන්තර් වාර්ගික සමගිය ආරක්ෂා කිරීම අතර තුලනය පවත්වා ගැනීම බෙහවින් සාකච්ඡාවට බඳුන් වූ විෂයකි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම වුවද, එය නිරපේක්ෂ අයිතියක් නොවේ. වාර්ගික වෛරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙම අයිතිය සීමා කළ හැක්කේ කවදාද සහ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි රාමුවක් අන්තර්ජාතික සම්මුති මගින් සපයා ඇත.
උදාහරණයක් ලෙස වූ ජනවර්ග පදනම්කොට සියලු ආකාරයේ අඩුසැලකිලි දැක්වීමට එරෙහිව 1965 වසරේ සම්මත ඇති කරගත් ICERD සම්මුතියේ (විශේෂයෙන් 4 වැනි වගන්තිය) අප දන්නා ICCPR සම්මුතියටත් වඩා ඉදිරියට ගොස් රාජ්‍යයන්ගෙන් පහත දෑ ඉල්ලා සිටියි:
* වාර්ගික උත්තරීතරභාවය හෝ වෛරය මත පදනම් වූ අදහස් ප්‍රචාරය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශ කිරීම.
* වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රවර්ධනය කරන සහ ඊට අනුබල දෙන සංවිධාන සහ සංවිධානාත්මක ප්‍රචාරක කටයුතු තහනම් කිරීම.
* රාජ්‍ය බලධාරීන් හෝ ආයතන එවැනි අනුබල දීම් සඳහා ඉඩ නොදෙන බවට සහතික වීම.

නීති සම්මුති එසේ වුවද මේ සම්බන්ධ කටයුතු වලදී සන්දර්භය සලකා බැලීමද වැදගත්ය. කිසියම් ආකාරයක ජනවාර්ගික සංහිදියාවක් ඇති කර ගැනීමට අපට හැකිවී තිබෙන බැවින් එයට හානි සිදුවන ප්‍රකාශන වලට ඉඩ නොතිබිය යුතුයැයි යන අදහස තාර්කික වන්නේ එම ප්‍රකාශ ජනවාර්ගික වෛරය උසිගැන්වීමට පමණක් නොව ඒ අරභයා ප්‍රචණ්ඩ ක්‍රියා සහ හිංසනය යොදා ගැනීමට සෘජුවම උපයෝගි වන්නේ නම් පමණි. එහෙත් ජනවාර්ගික පදනම මත මැසිවිල්ලක් කිරීම නොසැලැකිල්ලක් සම්බන්ධ දෝෂාරොපණයක් කිරීම වැනි දේවල් ඒ ගණයට නොගැනේ.
දීප චෙල්වම් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට උසිගන්වන්නෙක්ද නැද්ද යන්න ජනසමාජයට තීරණය කළ හැකි වන්නේ ඔහු ලියූ දේවල් කියැවීමෙන් ම පමණි. සංහිදියාව ගැන අප මේතරම් සැලකිලි මත් වන්නේ නම් සංහිඳියාව අනතුරට ලක් කරන දේවල් සමස්ත සමාජය තුළ සාකච්ඡාවට ලක් කිරීම සංහිඳියාව තහවුරු කිරීමට වැඩි වැඩියෙන් අවශ්‍යයය. එහෙත් සමාජය වෙනුවෙන් ඒ කොන්ත්‍රාත්තුව කිසියම් රාජ්‍ය ආයතනයක් බාර ගැනීම අයුතුය. එවැනි ආයතනයකට කළ හැක්කේ එබඳු ජන සංවිචාරණයකට පහසුකම් සැපයීමයි. රාජ්‍ය මාධ්‍යයටද එය අදාළය.

මේ අන්තර්ජාල යුගයේ අදහස් වාරණය කිරීම නොකළ හැක්කක් බව මේ කාරණය සම්බන්ධයෙන් වැදගත් අදහස් දැක්වීමක් කළ නිර්මාල් Nirmal Dewasiri පෙන්වා දී තිබුණි. චූලානන්ද සමරනායක Chulananda Samaranayake සහ විරංජන හේරත් Viranjana Herathමේ කාරණය සම්බන්ධයෙන් ලියූ ෆේස්බුක් සටහන් ද කියවිය යුතු ඒවාය. එන්න අපි දීප චෙල්වම්ගේ අදහස් සංවිචාරණයට ලක් කරමු. එයට අපට පහසුකම් සපයන්න.
(සටහන | විජයානන්ද ජයවීර)
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක
w.jayaweera@gmail.com
jayavoice.com
උපුටා ගැනීම - Wijayananda Jayaweera ෆේස්බුක් පිටුවෙන්...




