රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (සෙනසුරාදා) ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව පැවති තරගයට 14 හැවිරිදි වයිභාව් සූර්යවන්ශි (Vaibhav Suryavanshi) ඔවුන්ගේ අතිරේක ක්‍රීඩකයා (impact substitute) ලෙස කැඳවීමත් සමග ඔහු එදා මෙදා තුර ළාබාලතම IPL ක්‍රීඩකයා බවට පත්වුනා.
වමතින් පිත්ත හසුරුවන සූර්යවන්ශි මේ ධනවත් T20 තරගාවලියේ ගිවිසුමක් දිනා ගත්තේ නොවැම්බරයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්තාන් කණ්ඩායම ඔහුව ඩොලර් 130,500 මුදලකට මිලදී ගත් අවස්ථාවේ. ඒ වන විට ඔහුගේ වයස වී තිබුනේ අවුරුදු 13ක්.
දැන් වයස අවුරුදු 14යි දවස් 23ක්ව සිටියදී සූර්යවන්ශි, IPL තරග බිමට ප්‍රථම වතාවට පිවිසෙමින් ප්‍රයාස් රේ බාමන් තබා තිබූ ළාබාලතම ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දැමුවේ ඉතා පහසුවෙන්. බාමන් 2019 වසරේදී රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරූ කණ්ඩායමට ක්‍රීඩා කළේ වයස අවුරුදු 16යි දවස් 157ක්ව සිටියදී.
රාජස්තාන් කණ්ඩායමේ සත්කාරකත්වයෙන් ජායිපූර් හි පැවති තරගයට සූර්යවන්ශිව ‘වයිල්ඩ්කාඩ්’ තේරීමක් ලෙස තරගයට එක්කර තිබුනේ නායක සන්ජු සැම්සන් ආබාධයක් හේතුවෙන් තරගයට සහභාගි නොවූ බැවින්.
ඒ අනුව ඔහු යශාස්වි ජයිස්වාල් සමග ඉනිම ආරම්භ කිරීමට පැමිණියේ රාජස්තාන් කණ්ඩායමට ලකුණු 181ක් හඹා යාමට සිදුව තිබියදී.
කඩුල්ලට පිවිසීමෙන් පසුව තමා මුහුණ දුන් පළමු පන්දුව ට ම සූර්යවන්ශි වේග පන්දු යවන ෂාඩුල් තකූර් ට හයේ පහරක් එල්ල කළේ අප්‍රමාදව තරගයට බලපෑමක් ඇති කරමින්.

බබෙකුගේ වැනි මුහුණක් ඇති සූර්යවන්ශි, දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ඒඩ්න් මාක්රම්ගේ පන්දුවට ස්ටම්ප් කිරීමකට හසුව දැවී යාමට පෙර ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ ගැටවරයා ඔහු මුහුණ දුන් පන්දු 20දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කළ අතර අනෙක් වමත් පිතිකරුවා වූ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 19කට ක්‍රීඩා කර තිබෙන ජයිස්වාල් සමග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක් එක් කළා.
සූර්යවන්ශිගේ ආරම්භක හයේ පහරින් ක්‍රිකට් ලෝකය අන්දමන්ද වුනා. එය කිසිදා අමතක නොවන මොහොතක් බව සමහර ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍යයේ සටහන් කළා.
කෙසේ වෙතත්, ඔහුගේ මේ විශේෂ දිනය අවසන් වූයේ දුක්මුසු දර්ශනයකින්. ඒ, ඔහු දැවී යාමෙන් පසුව පිටියෙන් පිටව ගියේ කඳුළු වැටෙන තරමට හඬා වැටෙමින් නිසා.
මේ මුළු තරගයේදී ම ප්‍රථම වතාවට වයිභාව් සූර්යවන්ශිගේ වයස හරියටම පෙනුනේ ඒ කඳුළුවලින්.
අපේක්ෂා තැබිය හැකි ක්‍රීඩාවකින් පසුව වැගිරුනු ඒ කඳුළුවලින් බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් බිඳ වැටුනා.
සූර්වවන්ශි පැමිණෙන්නේ ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය වන බිහාර් ප්‍රදේශයෙන්. ඔහුගේ පියා ගොවියෙකු සහ අර්ධ කාලීන මාධ්‍යවේදියෙක්.
ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන පියා ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවති අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගයකදී පන්දු 58කින් ශතකයක් වාර්තා කිරීමෙන් පසුව ප්‍රසිද්ධියට පත්ව සිටියා.
වයිභාව් සූර්යවන්ශි ඔහුගේ ප්‍රදේශීය රන්ජි කුසලාන මංගල තරගයට සහභාගි වූයේ වයස 12දී.
ඊයේ තියුණු තරගය අවසන් වූයේ සූර්යවන්ශිගේ කණ්ඩායමට ලකුණු දෙකක සියුම් පරාජයක් අත්වෙමින්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



