කණ්ඩායමේ මෙන්ම හලාවත මේරියන්ස් කණ්ඩායමේ ද නායිකා චමරි අතපත්තු ට උපහාර පිදීමක් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ඊයේ මහත් උත්සවාකාරයෙන් සිදුවුනා.
එක්දින ක්‍රිකට් අංක 1 පිතිකාරිනිය බවට පත්වෙමින් ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරමින් සිටින මේ ආදර්ශමත් ක්‍රීඩිකාව වෙනුවෙන් විශේෂ උපහාර උළෙල සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන දේශීය පිරිමි හා කාන්තා තරගාවලියන්හි ක්‍රීඩා කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින්.
ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ වඩාත්ම සාර්ථක ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සැලකෙන 34 හැවිරිදි චමරි අතපත්තු ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ 2009 වසරේ සිට. ඇය ජාතික සංචිතයට එක්වූයේ 2008 වසරේ දී.

චමරිගේ අලුත් ම හපන්කම ප්‍රදර්ශනය වුනේ දකුණු අප්‍රිකාව ට එරෙහිව එම දේශයේ පැවති ජාත්‍යන්තර එක්දින තරගයේ දී. එහිදී ඇය ලකුණු 195ක් රැස් කරමින් ශ්‍රී ලංකාව අපහසු ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් වුනා. ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඇයගේ අංක 1 පිතිකාරිනියගේ ස්ථානය තහවුරු වුනේ ඒ අතිවිශිෂ්ට පිතිහරඹයෙන්.
එක්දින තරග 101කට සහභාගි වී ඇති චමරි වමතින් පිත්ත හසුරුවමින් ලකුණු 3513ක් මේ දක්වා ලබා ගෙන සිටින්නේ ශතක 9ක් හා අර්ධ ශතක 16ක් වාර්තා කරමින්. පිට දඟ පන්දු යවමින් ඇය ලබා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 29ක්.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් පා ඇති චමරි අතපත්තු ජාත්‍යන්තර විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ 5 වැනි තුන් ඉරියව් ක්‍රීඩිකාවගේ ස්ථානයට පත්ව සිටින්නේ තරග 131කදී ලකුණු 2957ක් හා කඩුලු 48ක් ලබා ගෙන. ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් මීට ඇතුළත්.
ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග බිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා අනෙකුත් කණ්ඩායම් අතර දැඩි පරතරයක් තිබෙන බව ප්‍රදර්ශනය වුනේ ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට ප්‍රථම වතාවට පා තැබූ දා පටන්. සෑම තරගයකදීම, පැහැදිලිවම, දුර්වල කණ්ඩායම වී සිටියේ ශ්‍රී ලංකාව.
ලොව ඔ්නෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බවට විශ්වාසයක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ට දශක දෙකක් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවශ්‍ය වුනා. වසර දෙදහස් ගණන්වලදී ශෂිකලා සිරිවර්ධන ඔවුන්ට මාර්ගය විවර කර දුන් අතර ඒ මඟේ ඉදිරියට ම යමින් ඊළඟ මට්ටම ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායම ගෙන ගියේ චමරි අතපත්තු.
කුරුණෑගල ගොකරැල්ලෙන් මෙලොව එළිය දුටූ චමරිගේ වීරයා බවට සනත් ජයසූරිය පත්වන විට ඇයට වයස යන්තම් අවුරුදු හය යි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඇල්මක් ඇයට ඇතිවුනේ ප්‍රථම වතාවට සනත්ව 1996 ලෝක කුසලාන තරග බිමේ දුටු අවස්ථාවේ.

“අරවින්ද අයියා (අරවින්ද ද සිල්වා) ශතකයක් ගහපු, ලෝක කුසලාන තරගය මම බැලුවේ නිදිමතේ. මම හීන දැක්කේ සනත් අයියා (සනත් ජයසූරිය) වගේ සෙල්ලම් කරන්නයි. එයාගෙ හෙල්මටය අස්සෙන් දාඩිය රූරා ගලන හැටි... පිරිත් නූල් පිරිච්ච එයාගෙ අත....මම ඒ දර්ශනවලට ආස කළා. කවදා හරි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න මම හිතා ගත්තේ ඒ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ” යනුවෙන් චමරි අතපත්තු ඇගේ උත්සවයේදී පැවසුවා.
“මම මේ ගමන ආවේ ඉතාමත් අමාරුවෙන් හා කැපවීමෙන්. ක්‍රිකට් අතහරින්න හිතුන අවස්ථාත් තිබුනා. නමුත් මගේ මව්පියන් ඒ වෙලාවේ මාව දිරිමත් කළා. මට මුලින් ම ක්‍රිකට් තාක්ෂණය ඉගෙන්නුවේ ක්‍රිකට් පුහුණුකරුවකු වන මගේ මාමා චන්ද්‍රා.”
චමරි අතපත්තුව සනත් ජයසූරිය ට සමාන කරමින් ‘සනත් ජයසූරිය නමැති ක්‍රීඩකයාගේ කාන්තා පාර්ශව ක්‍රීඩිකාව’ ලෙසින් හා ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ආදර්ශමත් නිරූපණය’, ‘ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ යකඩ ගැහැනිය’, ‘ශ්‍රී ලංකා ක්‍රිකට් රැජින’, ක්‍රිකට් තාරකාවිය’....යනාදි නොයෙකුත් නම්වලින් ඊයේ ඇයව හඳුන්වනු අසන්නට ලැබුනා.
චමරි අතපත්තු ඇගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය ඇරඹුවේ කුරුණෑගල ක්‍රිකට් සමාජයෙන්. එහිදී ඇය පුහුණු වූයේ පිරිමි ක්‍රීඩකයන් සමග. ඇගේ උසස් අධ්‍යාපනයේ පාසල වූ ඉබ්බාගමුව මැදි විදුහල වෙනුවෙන් ද ක්‍රීඩා කළ ඇය එහි නායකත්වය ද දරා තිබෙනවා.

වයස අවුරුදු 17 දී චමරි කොළඹ ට පැමිණියේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමග ඇති කර ගත් කොන්ත්‍රාත්තුවකින්. ඇය පුහුණුව ලබද්දී ඇයගේ තනියට පැමිණියේ ඇගේ ලොකුම ක්‍රීඩා ලෝලියා වන ඇගේ පියා.
වසර 2008 වන විට ආසියානු කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙස තේරීමට තරම් ඇය ප්‍රමාණවත් දස්කම් ප්‍රදර්ශනය කර තිබුනා. එහෙත් අවාසනාවකට, ඇයට එම සංචිතයෙන් ඉවත් වීමට සිදුවුනේ ඇගේ පියාගේ මරණය හේතුවෙන්.
ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අනුශූරියන් ලෙස 2008 ආසියානු කුසලාන තරගාවලිය අවසන් කළා. ශූරියන් වූයේ ඉන්දියාව.

චමරි අතපත්තු ඇයගේ මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ 2009 වසරේ ඉන්දියාව ට එරෙහිව. ඇගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිවිසීම සිදුවූයේ 2010 වසරේ දී.
ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග බිමේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට චමරි වැඩි කාලයක් ගත්තේ නැහැ. ඇගේ 11 වැනි එක්දින තරගයේදී චමරි අතපත්තු අයර්ලන්තය ට එරෙහිව ශතකයක් ලබා ගත්තේ එදා මෙදා තුර ජාත්‍යන්තර එක්දින ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට ඉතිහාසගත වෙමින්.
ශ්‍රී ලංකාවේදී නවසිලන්තය එක්දින තරගමාලාවකින් පරාජය කිරීම, ශ්‍රී ලංකාවෙන් පිටතදී එංගලන්තය විස්සයි20 තරගමාලාවකින් පරාජය කිරීම, දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වතාවට මව්බිමෙන් පිට එක්දින තරගමාලාවක් සමව අවසන් කරගෙන විස්සයි20 තරගමාලාවේදී ඔවුන් පරාජය කිරීම යන මෑත කාලයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රදර්ශනය වූ දක්ෂතා සියල්ලේ ම කේන්ද්‍රීය ක්‍රීඩිකාව බවට පත්ව සිටියේ චමරි අතපත්තු.
2023 වසරේ ජූනි 27 වැනිදා චමරි පන්දු 83කින් නොදැවී ලකුණු 108ක් රැස් කළේ ශ්‍රී ලංකාව ඕනෑම ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවකදී නවසිලන්තය ප්‍රථම වතාවට පරාජය කළ අවස්ථාවේදී.
ඊට දින හයකට පසුව නැවත වතාවක් නවසිලන්තය ට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යමින් ඇය පන්දු 80කින් නොදැවී ලකුණු 140ක් වාර්තා කිරීමට සමත් වුනා.
දින නවයකට පසුව, චමරි පන්දු 47කින් නොදැවී ලකුණු 80ක් රැස් කළේ නවසිලන්තය ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර විස්සයි20 ජයග්‍රහණය ඉතිහාසයට එක් කරමින්.
එංගලන්තයේදී ඇය, ශ්‍රී ලංකාව විසින් ප්‍රථම වරට එංගලන්තය අභිබවා ගිය තරගමාලාවක පන්දු 31කින් ලකුණු 55ක් ද, පන්දු 28කින් ලකුණු 44ක් ද වාර්තා කළා.

ඉතාමත් මෑතකදී චමරි අතපත්තු දකුණු අප්‍රිකාව ට එරෙහිව පන්දු 139කින් නොදැවී ලකුණු 195ක් රැස් කළේ ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගිය ඉතිහාසයේ පළමු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොතට ඇතුළත් වෙද්දී.
දකුණු අප්‍රිකාව සමග පැවති විස්සයි20 තරගමාලාවේ තීරණාත්මක තරගයේදී ඇය පන්දු 46කින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වූ අතර ඇගේ පිතිහරඹය මත ශ්‍රී ලංකාව ට කුසලානය දිනා ගැනීමට හැකිවුනා.
විදේශීය ලීග් තරගාවලියක ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ ගෞරවය හිමිවන්නේත් චමරි අතපත්තු ට.
උපහාර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් වන අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරිය සමග සම අසුන් ගැනීමට චමරි ට ඊයේ අවස්ථාව ලැබුනේ හලාවත මේරියන්ස් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ප්‍රවීන ක්‍රිකට් මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මෙහෙයවූ කෙටි පිළිසඳරකට ඇය එක්වූ නිසා.

“සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා යන මගේ වීරයන් වගේ වෙන්න ඔ්න කියලා මම සිහින මැවුවා. අද මට ඒ අයත් එක්ක එකට වාඩි වීමේ වරප්‍රසාදය ලැබී තිබෙනවා. මගේ ක්‍රීඩා සමාජයෙන් මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ” චමරි පැවසුවා.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් පිටවී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට එක්වුනේ එම සමාජයේ ලේකම් ගොඩ්ෆ්‍රි දාබරේ මහතාගේ ආරධනයට අනුව බව චමරි කියා සිටියා.
“පහුගිය අවුරුදු හය තුළ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ කෙනෙක් වෙලා ඉන්න මට අවස්ථාව ලැබුනා. හලාවත මේරියන්ස් කියන්නේ මගේ පවුල වගෙයි. අද මම මේ තත්ත්වයේ ඉන්නේ ඒ ක්‍රිකට් සමාජය නිසායි. ඒ වගේම මට ඉමහත් සහයෝගයක් ලබා දුන් මගේ මව්පියන්ටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මම මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වී සිටියා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වර්තමාන පුහුණුකරු රුමේෂ් රත්නායක කණ්ඩායමට ධනාත්මක බොහෝ දේවල් සිදුකළ බව ද චමරි මෙහිදී සඳහන් කළා.
හය මසක් ඇතුළත ජගත් ක්‍රිකට් කවුන්සලයේ හොඳම ක්‍රීඩිකාව සම්මානය දෙවතාවක් ම දිනා ගත් චමරි අතපත්තු වසර 14ක් තිස්සේ ජාතික කාන්තා ක්‍රිකට් කණඩායම නියෝජනය කරමින් සිටිනවා.
චමරිගේ ක්‍රීඩාව අගය කරමින් කතා කළ සනත් ජයසූරිය හා අරවින්ද ද සිල්වා දෙදෙනා ම අවධාරණය කර සිටියේ චමරි අතපත්තු නමැති ‘නිෂ්පාදනය’ ආරක්ෂා කළ යුතු බව හා ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම පිණිස එය යොදා ගත යුතු බව යි.
“අපි වගේ පොඩි රටකින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට එනවා කියන්නේ ඉතාමත් අගය කළ යුතු දෙයක්. ඒක පරිස්සමින් ආරක්ෂා කරලා එය ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාවිච්චි කළ යුතුයි” අරවින්ද ප්‍රකාශ කළා.
“චමරි සනත්ව අනුකරණය කරමින් මේ තැනට ආවා වගේ, අනෙක් ක්‍රීඩිකාවන් චමරිව අනුකරණය කරන ක්‍රමයක් අපි හදාගන්න අවශ්‍යයි.”
ජයසූරිය අදහස් දක්වමින් කියා සිටියේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට චමරි ඉතාමත් හොඳ උදාහරණයක් බව.

“මේක චමරි ගොඩාක් අමාරුවෙන් ආ ගමනක ප්‍රතිඵලයක්. එයා තනියම පුහුණු වුනා. මේක අනෙක් අයට හොඳ ආදර්ශයක්. චමරි අපේ රටේ හොඳ නිෂ්පාදනයක්. අද අපේ රටේ තියෙන්නේ දිස්ත්‍රික් පළාත් වශයෙන් ඉතාමත් හොඳ ක්‍රමවේදයක්. ඒ මාර්ගයෙන් අපට තවත් චමරිලා ඉදිරියේදී හොයා ගන්න බැරිවෙන එකක් නැහැ” සනත් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.
ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී චමරිව ප්‍රශංසාවට ලක් කළේ ඇයව ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධ ගැහැනිය’ ලෙස හඳුන්වමින්. ඔහු චමරි හා සනත් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යකඩ මිනිසා සහ යකඩ කාන්තාව බව කියා සිටියා.
“චමරි අතපත්තු යනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක්. කාන්තා ක්‍රිකට් ලෝකයේ තාරකාවිය ඇය යි. ඇගේ කතාව අනුගමණය කරන ලෙසට මම සියළු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා” යනුවෙන් ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළා.
නලින් ද සිල්වා විසින් ගායනා කරන ලද “චමරී... ක්‍රිකට් මොනරී...” ගීතයෙන් උපහාර උත්සවය තවත් රසවත් වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



