කියන තුර්කියේ ක්‍රීඩකයෙක් යුරෝපීය පාපන්දු සම්මේලනයේ තරග තහනමකට ලක්වීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.
තුර්කිය ‘යුරෝ’ තරගාවලියේ ‘අවසන් කණ්ඩායම් 16’ වටයේ අඟහරුවාදා පැවති තරගයේදී ඔස්ට්‍රියාව ට එරෙහිව ගෝල් 2 -1ක ෙඑතිහාසික ජයක් ලබමින් නෙදර්ලන්තය සමග අර්ධ අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

ජයග්‍රාහී ගෝල් දෙක ම ලබා ගනිමින් තරගයේ අනපේක්ෂිත වීරයා වූයේ මීට කළින් ජාත්‍යන්තර තරග බිමේ දෙවතාවක් පමණක් ගෝල් ලබා සිටි ආරක්ෂක ක්‍රීඩක මෙරී ඩෙමිරාල් (Merih Demiral).
26 හැවිරිදි මේ ක්‍රීඩකයා ඔස්ට්‍රියාව ට එරෙහිව මේ තරගයේදී ලබා ගත් පළමු ගෝලය යුරෝපීය පාපන්දු ශූරතා ඉතිහාසයේ පිළිමළුන් පිටු දැකීමේ වටයක වාර්තා වූ වේගවත්ම ගෝලය යි.
කෙසේ වෙතත්, සිය දෙවැනි ගෝලය ලබා ගැනීමෙන් පසුව සතුටු වෙද්දී ඔහුගෙන් ප්‍රදර්ශනය වූ හැසිරීම මතභේදයට තුඩුදෙන කාරණයක් බවට පත්ව තිබෙනවා.

ගෝලයේ සතුට සමරමින් ඔහු ‘වෘකයෙකුගේ සැලියුට්’ – Wolf’s Salute - කිරීමක් රඟ දැක්වූ අතර මෙය ‘අළු වෘකයන්’ - Grey Wolves - නමැති තුර්කියේ සිටින අධි-දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ ආචාර කිරීමක්.
නිල වශයෙන් Ulku Ocaklari ලෙසින් හඳුන්වන ‘අළු වෘකයන්’ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoganගේ පාලක පක්ෂය වන Justice and Development (AK) සමග සන්ධානගතව සිටින Nationalist Movement Party (MHP) පක්ෂයේ තරුණ ව්‍යාපාරය යි.
ජර්මනියේදී, ව්‍යවස්ථා ආරක්ෂක ඒජන්සිය විසින් ‘අළු වෘකයන්’ගේ ආධාරකරුවන් සලකනු ලබන්නේ අන්තවාදීන් ලෙස.
මේ සැලියුට් කිරීම ඔස්ට්‍රියාව හා ප්‍රංශයේ තහනම් කර තිබෙනවා. ඔස්ට්‍රියාව මේ තහනම ප්‍රකාශයට පත්කළේ 2019 වර්ෂයේ. ඒ, භීෂණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම පිණිස අන්තවාදී සංවිධානවල සංකේත තහනම් කරමින් ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව නීතියක් සම්මත කර ගත් අවස්ථාවේ. මේ සැලියුට් ආචාරය ප්‍රදර්ශනය කිරීම යුරෝ 4,000ක් දක්වා වූ දඩයකට නියම විය හැකි ක්‍රියාවක්.
2019 වසරේදී තුර්කි රජය ඔස්ට්‍රියාවේ මේ තහනම විවේචනයට ලක්කළේ එමගින් නිත්‍යානුකූල තුර්කි දේශපාලන පක්ෂයක සංකේතය තුර්කිය, අමෙරිකාව හා යුරෝපා හවුල විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබන PKK නමැති කුර්දි හමුදා සංවිධානයේ සකේතය සමග සමාන කරන බවට චෝදනා කරමින්.
තමා එසේ ආචාර කළ හේතුව ඩෙමිරාල් තරගයෙන් පසුව පහදා දුන්නා.

“ප්‍රීති වීමේ එක්තරා විධියක් ගැන මගේ හිතේ තිබුනා. ඒක මගේ තුර්කි අනන්‍යතාවට සම්බන්ධ මොකක්දෝ දෙයක්. මම තුර්කි ජාතිකයෙක් වීම ගැන ඉතාම ආඩම්බර වනවා. මම ගෝලයක් ලබා ගත්තයින් පස්සේ ඒ ආඩම්බරය ඇඟ ඇතුලෙන්ම මට දැනුනා.”
“මට එය ප්‍රකාශ කිරීමට උවමනා වුනා. මම එහෙම කරපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපේ ක්‍රීඩා ලෝලීන් අපි ගැන ආඩම්බර වෙනවා. ඔවුන් ක්‍රීඩා මණ්ඩපයේ ඉඳන් ඒ සැලියුට් ආචාර කිරීම කරනවා මම දැක්කා. ඒකෙන් වුනේ මටත් එහෙම ආචාර කරන්න තව තවත් ඕන වුන එකයි. මට ඒ ගැන හරි සතුටුයි.”
මෙරී ඩෙමිරාල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුරෝපීය පාපන්දුවේ බලධාරීන් වන UEFA ප්‍රකාශ කර තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



