මේ අපවිත්‍ර ජල තත්ත්වය මධ්‍යයේත් තමා ලබන සතියේ සෙන් ගංගාවේ පිහිනන බවට පැරිස් නගාරාධිපතිනිය දිවුරා පොරොන්දු වී තිබෙනවා.
සෙන් ජලයේ පිරිසිදුකම සම්බන්ධයෙන් සැලකිල්ල යොමුව තිබියදීත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එම ජලය සුදුසු බවට පෙන්වීමේ උත්සාහයක නිරත වෙමින් තමා ලබන සතියේදී සෙන් නදියේ පිහිනන බව පැරිස් පුරපතිනිය ප්‍රංශ ගුවන් විදුලියට ප්‍රකාශ කළා.
ලබන සතියේ තමා සෙන් ගඟේ කිමිදෙන බවත් එහි ජලය පිරිසිදු වී ඇති බව තමාට සහතික බවත් නගරාධිපතිනි ඈන් හිඩල්ගෝ පැවසුවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එම ජලය සුදුසු බවට පෙන්වීමේ උත්සාහයක නිරත වෙමින් තමා ලබන සතියේදී සෙන් නදියේ පිහිනන බව
ඔලිම්පික් තරගකරුවන් මේ මස අගදී තුන්ප්‍රයාම ඉසව්ව අතරතුරදීත්, අගෝස්තු මාසයේදී මැරතන් පිහිනුම් තරගවලදීත් සෙන් ගංගාවේ පිහිනීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, යුරෝ බිලියන 1.4ක (ඩොලර් බිලියන1.5) ශුද්ධ කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නංවා තිබියදීත්, පිහිනුම් ඉසව් සඳහා ගඟේ යෝග්‍යතාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවධානය තවමත් එලෙසම පවතිනවා. පසුගිය සතියේ කෙරුනු පරීක්ෂණවලදී සෙන් ජලයේ බැක්ටීරියා මට්ටම පිළිගත හැකි මට්ටමක තිබෙන බවට ප්‍රථම වතාවට පෙන්නුම් කර තිබෙන බව නගරාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ එක් ප්‍රධාන බලවේගයක් වන හිඩල්ගෝ නගරාධිපතිනිය, තමා සෙන් ගංගාවේ බැස පිහිනන බවට මීට කළින් ද ප්‍රකාශ කර තිබුනා. නමුත් ප්‍රංශ ජනාධිපති එමෑන්යුඅල් මැක්රොන් විසින් එරට ජාතික සභාව විසිරුවා හැරීමෙන් පසුව ඇය ඇගේ පිහිනීම කල් දැමුවා.
සෙන් ගංගාව
හදිසි මැතිවරණය ව්‍යාපාරය මධ්‍යයේ සෙන් ගංගාව තවදුරටත් ප්‍රමුඛතාවක් නොවූ බව නගරාධිපතිනිය පෙන්වා දුන්නා. සෙන් ගංගාවේ පිහිනන බවට මැක්රොන් ද ප්‍රකාශ කර තිබෙන අතර ඒ සඳහා දිනයක් තවමත් නිවේදනය කර නැහැ.
පසුගිය මාසයේදී, පැරිස් කලාපයේ ප්‍රධාන නිලධාරියා වන Marc Guillaume ප්‍රංශ ගුවන් විදුලියෙන් කියා සිටියේ වසන්ත සෘතුවේ ඇදහැළුනු අසාමාන්‍ය අධික වර්ෂාව හේතුවෙන් සෙන් ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව. නමුත් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙන් ගංගාවේ පිහිනීමට හැකිවනු ඇති බවට සංවිධායකයින් දිගටම විශ්වාසය තබා ගෙන සිටියා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජූලි 26 වැනිදා සෙන් ගංගාවේ පැවැත්වීමටයි නියමිතයි
සැඩ පාර එතරම් වේගවත් නොවුනොත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජූලි 26 වැනිදා සෙන් ගංගාවේ පැවැත්වීමටයි නියමිත. ජූනි 24 වැනිදා සෙන් නදියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සමාරම්භක උත්සවයේ පෙරහුරුවක් අහෝසි කිරීමට සිදුවූයේ අධික වර්ෂාව නිසා ජලය වේගයෙන් ගලා යමින් තිබීම හේතුවෙන්.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



