ඒ කාලයේ දියේ ගිලී සතුටු වීම බොහෝ විට කෙරුනේ නිරුවතින්.
ශතවර්ෂය අවසානය වන විට, නිරුවතින් දියනෑම නීතියෙන් තහනම් කෙරුන ද ඉවුරු දිගේ පාවෙන පිහිනුම් තටාක ස්ථාපනය කෙරුනු බැවින් සෙන් නදියේ පිහිනීම ඉතාමත් ජනප්‍රියව පැවතුනා.
"Tableaux de Paris, number 55: la pleine eau", 1821. Engraving by Marlet. Paris, Carnavalet museum.
මෙයින් වඩාත්ම ජනප්‍රිය වූයේ 1801 වසරේදී දිග බෝට්ටු දුසිමක තනන ලද විවෘත පාවෙන පිහිනුම් තටාක. ඒවා නම් කර තිබුනේ ඉවුරු පසෙකින් පිහිනුම් පාඩම් කියා දුන් පළමු ජීවිතාරක්ෂකයන්ගෙන් කෙනෙක් වෙනුවෙන්.
19 වැනි ශතවර්ෂයේ අවසානය වන විට එවැනි ස්ථාන 20ක් පමණ සෙන් ගංගාව දිගේ තිබුනා. මේවායේ පාවිච්චිය නවතා දැමුනේ ගොඩබිම් පිහිනුම් තටාක පැමිණීමත් සමග.

1921 පැරිසිය හරහා පිහිණීම
වෙනස්වීමට අකමැති සමහරු පිහිනුම් උපකරණ සමග සෙන් නදියේ දිගටම කිමිදෙන්නට වූ අතර ගඟේ ජලයේ ගලා ඒම හා අපවිත්‍රකමේ අනතුර හේතුවෙන් එහි කිමිදීම 1923 වසරේදී නිල වශයෙන් තහනම් කෙරුනා.
සෙන් ගංගාවේ කිමිදෙන්නන් සොයා අදත් ප්‍රංශ සේනාංක එහි මුර සංචාරයේ යෙදෙනවා.
1940 ගණන්වල පැවති අධික උෂ්ණ කාලගුණය හා නිල තරග පැවැත්වීම වැනි සමහර අවස්ථාවන්හිදී සෙන් ගංගාවේ පිහිනීමට බලධාරීන් අවසර ලබා දුන්නා.
1941 අප්‍රේල්
ප්‍රංශයේ ජනාධිපති බවට පසුව පත්වූ ජෑක් චීරාක් (Jacques Chirac) 1988 වසරේදී සෙන් ගංගාවට මත්ස්‍යයන් 5,000ක් නිදහස් කළ අවස්ථාවේදී පැරිසියේ නගරාධිපති වශයෙන් ප්‍රකාශ කළේ වසර පහකින් පසුව පැරිස්වාසීන්ට නැවත වරක් සෙන් ගංගාවේ පිහිනීමට හැකිවන බව.
“මම නාන තුවා සහ ප්‍රතිජීවක එක්ක එනවා” යනුවෙන් එම වකවානුවේ පරිසර ඇමතිව සිටි Brice Lalonde ඊට ප්‍රතිචාර දක්වමින් උපහාසාත්මකව කියා සිටියා.
ඊට දෙවසරකට පසුවත් චීරාක් නැවත කියා සිටියේ පැරිසියේ වැසියන්ට සෙන් ගංගාවේ පිහිනීමට අවස්ථාව උදා වන බව හා තමා 1993 වසරේදී ප්‍රසිද්ධියේම ගංගාවට බසින බව. නමුත් ඔහු කිසිදිනෙක එය කළේ නැහැ.
වර්තමාන පැරිස් පුරපතිනිය වන ඈන් හිඩල්ගෝ (Anne Hidalgo) 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැරිසියට ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඒ සිහිනය යළි සිහි ගන්වමින්, තුන් ප්‍රයාම ඉසව් සෙන් නදියේ පවත්වන බවට පොරොන්දු වුනා.
එහිදී ඇය තවත් ඉලක්කයක් එක් කරමින් කියා සිටියේ 2024 වසරෙන් පසුව සෙන් ගංගාවේ ස්ථිර පිහිනුම් ප්‍රදේශ ජනතාව වෙනුවෙන් ස්ථාපනය කරන බව.

චීරාක් මෙන්ම හිඩල්ගෝ ද, තමා සෙන් ගංගාවට පැන ඔලිම්පික් වසර සංකේතවත් කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සැලැස්මට බාධා කිහිපයක් ඇතිව තිබෙනවා.
2023 අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ විවෘත ජලයේ පිහිනුම් ලෝක කුසලාන ඉසව්වක්, අධික වර්ෂාව නිසා අපද්‍රව්‍ය වහනය වන කාණු පිටාර ගලමින් සෙන් ජලයේ බැක්ටීරියා මට්ටමේ තාවකාලික ඉහළ යාමක් සිදුවීම හේතුවෙන් අහෝසි කෙරුනා.
මෑතකදී කෙරුනු පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේත් ඔලිම්පික් උළෙලට මාසයක් පමණක් ඉතිරිව තිබියදීත් සෙන් ජලය පිහිනීමට අයෝග්‍ය බව.
සියල්ල සැලසුමට අනුව සිදුවුවහොත්, 2025 වසරේ සිට ජනතාවට සෙන් ගංගාවේ ස්ථාන තුනක පිහිනීමට හැකියාව ලැබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



