දම් පාටින් යුත් එය ඇත්තටම නෙත් පිනා යන දසුනක්. එය මලල ක්‍රීඩා තරග පැවැත්වෙන සෑම ස්ථානයකම පාහේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන රතු-තැඹිලි හෝ නිල් පාට ට වඩා නැවුම් වූ වෙනසක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ප්‍රථම වතාවට දක්නට ලැබෙන මේ දම් පාට ධාවන පථයේ වාර්තා බොහොමයක් බිඳ වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ලැවැන්ඩර වර්ණයෙන් යුත් ධාවන පථය
මලල ක්‍රීඩා ධාවන පථය සඳහා දම් පාට යොදා ගෙන තිබෙන්නේ එය දේශීය සංවිධායකයින් විසින් ඔලිම්පික් උළෙල වෙනුවෙන් තෝරා ගෙන තිබෙන නිල්, කොළ හා දම් තේමාවට සමාන වන බැවින්. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පවත්වනු ලබන සෑම ස්ථානයකම මේ වර්ණ කැපී පෙනෙනු ඇති. ධාවන පථයේදී දම් වර්ණයේ විවිධ පැහැයන් දිස්වනවා... ධාවන පථය සඳහා ලා පාටක්, සේවා ස්ථාන සඳහා තද පාටක් හා ධාවන පථය වංගුව අවසානයේ හැරෙන ස්ථාන සඳහා අළු පැහැයක් වශයෙන්. මේ වර්ණයන්ගෙන් කෙනෙකුගේ මතකයට නැගෙන්නේ ප්‍රංශයේ ස්වාභාවික භූදර්ශනය.
පැරිස් ධාවන පථය සැලසුම් කර තිබෙන්නේ මොන්ඩෝ සමූහ ආයතනය. ටෝකියෝ හි පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝක වාර්තා 3ක් හා ඔලිම්පික් වාර්තා 12ක් අලුත් කෙරුනේ රතු-ගඩොල් පැහැති ධාවන පථයක. තරගකරුවන්ගේ දස්කම් එසේ තිබියදී පොදු හේතුව වූයේ මොන්ඩෝ ධාවන පථය යි. මොන්ඩෝ ධාවන පථ සලකනු ලබන්නේ ලෝකයේ තිබෙන වේගවත්ම ධාවන පථ ලෙස. 1976 මොන්ට්‍රියල් ඔලිම්පික්ස් සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්ට ධාවන පථ සපයන්නා වී සිටින්නේ ඉතාලිය මූලස්ථානය කර ගත් මොන්ඩෝ සමූහායතනය.
මොන්ඩෝ ධාවන පථයේ රබර් මතුපිටේ තිබෙන තදින් ග්‍රහණයට හසුකර ගැනීමේ හැකියාව රෝදපුටු තරගකරුවන් ඇතුළු කෘතිම පාදවලින් ක්‍රීඩා කරන පැරාලිම්පික් තරගකරුවන් ට වඩාත් හිතකර වනු ඇත
මොන්ඩෝ ධාවන පථයේ රබර් මතුපිටේ තිබෙන තදින් ග්‍රහණයට හසුකර ගැනීමේ හැකියාව විශේෂයෙන් රෝදපුටු තරගකරුවන් ඇතුළු කෘතිම පාදවලින් ක්‍රීඩා කරන පැරාලිම්පික් තරගකරුවන් ට වඩාත් හිතකර වනු ඇති.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



