දිරි ගැන්වීම පිණිස අලුත් තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා. මෙය සිදුවන්නේ රුසියාව සමග යුද්ධය මාස 29කට සමීප වෙමින් තිබීම මධ්‍යයේ.
පැරිසියේදී තරග වදිනු ඇත්තේ යුක්රේන් ක්‍රීඩකයන් 140 දෙනෙකු පමණයි. මෙය යුක්රේන් ඔලිම්පික් සහභාගිත්ව ඉතිහාසයේ අඩු ම ක්‍රීඩක සංඛ්‍යාව යි.
රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් මිය ගොස් තව බොහෝ දෙනෙකුට යුද්ධයෙන් පලා යාමට බල කර තිබෙන අතර ක්‍රීඩා පහසුකම්වලට හානි සිදුව තිබෙනවා. රුසියානුවන්ගේ බෝම්බ දැමීම් නිසා සිදුවන නිරන්තර ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් සහ දීර්ඝ විදුලිය ඇණහිටීම් හේතුවෙන් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම්වලට බාධා ඇතිව තිබෙනවා.

“අපි ගණන් කරන්න බැරි තරමට පැය ගණන් තිස්සේ විදුලිය නැතිව, වතුර නැතිව, කළුවරේ, සීතලේ, අධික උණුසුමේ ඉඳලා තියෙනවා. මම හිතන්නේ අපි සෑම බාධාවකටම මුහුණ දී තිබෙනවා”
යනුවෙන් කඩු හරඹ ක්‍රීඩිකා Vlada Kharkova පැවසුවේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සමග යුක්රේනයේ ඔලිම්පික් තැපැල් මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට Kyiv නගර මධ්‍යයේ එක්වෙමින්.
“මේ දුෂ්කර තත්ත්වයන් විසින් අපව වඩාත් ශක්තිමත් කර තිබෙනවා. කුමක් සිදුවුනත් අපි යුක්රේනුවන් බවට මුළු ලෝකයට පෙන්වීමට අපි සූදානම්. යුක්රේන් රට වගේ ම අපිවත් බිඳ දමන්න බැහැ.”
නිකුත් කෙරුනු තැපැල් මුද්දර හයකින් යුත් කට්ටලයේ දිස්වන්නේ යුක්රේනය මීට කළින් කුසලාන හා පදක්කම් දිනා ගෙන තිබෙන කඩු හරඹ, ජූඩෝ, ටෙනිස්, ඔරු පැදීම, බර ඉසිලීම හා ඉලක්කයට වෙඩි තැබීම ඇතුළු ක්‍රීඩා.
යුක්රේන් ක්‍රීඩා අමාත්‍යංශයේ දත්තවලින් පෙන්නුම් කරන පරිදි 2022 වසරේ පෙබරවාරි මාසයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේ සිට මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් 479 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ක්‍රීඩා පහසුකම් තිබෙන මධ්‍යස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබෙන අතර ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථාන 15ක් ද මීට ඇතුළත්.

රුසියාවේ යුක්රේන් ආක්‍රමණයෙන් පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාව හා ඔවුන්ට සහාය දෙන බෙලරුසියාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම තහනම් කළා. එහෙත් ඉන්පසු ඒ ස්ථාවරය මඳක් ලිහිල් කළ කමිටුව යම් කොන්දේසිවලට යටත්ව මධ්‍යස්ථ ක්‍රීඩකයන් ලෙස පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට එම දෙරටේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නා.
රුසියාව හා බෙලරුසියාවෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුට සිකුරාදා ඇරඹෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට අවසර ලැබී තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



