පුද්ගලයන් අපහසුතාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් ප්‍රංශයේ අධි වේගී දුම්රිය ජාලයට ගිනි තැබුවා.
පැරිස් අගනුවරින් ඈත ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිකුරාදා උදේ මේ ප්‍රහාරය සංවිධානාත්මකව සිදුකර තිබෙන්නේ සෑම දිසාවකින්ම පැරිස් නගරයට යන දුම්රිය මාර්ග අවහිර කිරීමේ අරමුණින්.
මෙසේ ගිනි තබා තිබෙන්නේ TGV නමින් හැඳින්වෙන ක්‍රමවේදයේ ඉතා වැදගත් සංඥා කේබල් අඩංගු පයිප්පවලට.

සිද්ධියෙන් පුද්ගලයන්ට තුවාල සිදුවීමක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. කෙසේ වෙතත්, ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දහසකගේ සහභාගිත්වයෙන් සෙන් ගංගාව දිගේ පැවති සමාරම්භක උත්සවයට මේ හානිය බලපෑවේ නැහැ.
විශාල කඩාකප්පල් කිරීමක් සිදු කරමින්, වෙන් වූ දුම්රිය ධාවන මාර්ග තුනක් අසල මේ ගිනිතැබීම කර තිබෙන්නේ ඊයේ අරුණෝදයට පෙර. අගනුවරට දකුණු දෙසින් පිහිටි තවත් පළාතක ගිනිතැබීමේ උත්සාහයක් දුම්රිය නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබෙන්නේ සැකකරුවන් පලවා හරිමින්.

ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන වග හෝ ඊට හේතුව ප්‍රංශ බලධාරීන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. මේ කඩාකප්පල් කිරීම කෙළින් ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ ද යන්න පිළිබඳවත් එම නිලධාරීන් පැවසුවේ නැහැ.
බටහිර දුම්රිය මාර්ගයේ පැරිසිය වෙත ක්‍රීඩකයන් රැගෙන යමින් සිටි දුම්රිය හතරෙන් දෙකක් සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර නතර කෙරුනා.

සමාරම්භක උත්සවයට සහභාගි වීම පිණිස පැරිසිය බලා දුම්රියෙන් ගමන් කරමින් සිටි ජර්මන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුම්රිය ගමන් ඇනහිටීම හේතුවෙන් බෙල්ජියමේදී ආපසු හැරී යාමට සිදුවුනා.
ගිනිතැබීම සිදුකළ කඩාකප්පල්කාරීන් සොයා ප්‍රංශය ජාතික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය ගමන් නැවත යථා තත්ත්වයට පත් කිරීම පිණිස ගිනිගත් කේබල් එකින් එක අළුත්වැඩියා කිරීමට දුම්රිය බලධාරීන් ක්ෂණිකව කටයුතු කළ අතර සවස වන විට දුම්රිය ගමන් නැවත ආරම්භ කෙරුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



