මෙම අතිශය "මානව අත්වරද" පිළිබඳව දකුණු කොරියාවෙන්, හදපත්ලෙන්ම සමාව ඇයද සිටින බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
ඉකුත් සිකුරාදා (26) පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ, දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෙන් නදිය ඔස්සේ යාත්‍රාවක ගමන් කරමින්, ක්‍රීඩා උළෙලේ සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරන අවස්ථාවේදී, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදන ද්විත්වයම ඔවුන් "මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජයේ" (People’s Democratic Republic of Korea) ක්‍රීඩක සංචිතය ලෙස වරදවා හඳුන්වා දෙන ලදී.

මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය යනු, උතුරු කොරියාව හැඳින්වෙන සම්පූර්ණ නාමයයි.
තාක්‍ෂණික වශයෙන්, තවදුරටත් පස මිතුරන් වන දකුණු සහ උතුරු කොරියානු රාජ්‍යයන් කෙරෙහි මෙවැනි අත්වැරදීම්, දේශපාලනිකව සංවේදී වෙයි. දකුණු සහ උතුරු කොරියානු යුද්ධය 1953 දී සාම ගිවිසුමකින් තොරවම හුදු සටන් විරාමයකින් පමණක් අවසන් විය.
ඊයේ (28) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් (Thomas Bach) සහ කුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල් (Yoon Suk-yeol) අතර පැවති දුරකථන සංවාදයකදී, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවේ, එහි ශ්‍රව්‍ය විකාශනයේ සිදු වූ මෙම අත්වරද සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හ්රදයංගම සමාව අයැද සිටින බව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් ප්‍රකාශ කළ බව සී.එන්.එන්. (CNN) ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
ඉකුත් සෙනසුරාදා (27) පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක මාක් ඇඩම්ස් (Mark Adams), මෙම අත්වරද පැහැදිලිවම සහ අවංක ලෙසම කනගාටුවට කරුණක් බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හ්රදයංගම සමාව ඇයද සිටිනබවත් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබේ.
දකුණු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිලිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 143 දෙනකුගෙන් යුත් දකුණු කොරියා සංචිතය, තරග ඉසව් 21කට සහභාගී වීමට නියමිතය. 2021 වසරේ පැවති, 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේදී, කොවිඩ් - 19 හේතු මත ප්‍රතික්ෂේප වූ උතුරු කොරියාව නියෝජනය කරමින්, මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු සහභාගී වෙයි.

පසුගිය සති කිහිපය තුලම කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී වාතාවරණය තීව්‍ර කරමින් පියොන්ග්‍යන්ග් සිට අප ද්‍රව්‍ය රැගත් බැලූන දහස් ගණනක් දකුණු කොරියාව වෙත ගුවනේ පා කර හැරීමට උතුරු කොරියාව කටයුතු කර තිබිණි. ඉන් ඇතැම් බැලූන, දකුණු කොරියාවේ සියෝල් අගනුවර පිහිටි ජනාධිපති මන්දිර පරිශ්‍රයට අද වැටුණු බවද වාර්තා විය.
දකුණු කොරියානු සිවිල් ව්‍යාපාරයකදී උතුරු කොරියාවට එරෙහි සටන් පාඨ රැගත් බැලූන රැසක් උතුරු කොරියාව දෙසට පා කර හැරීමට ප්‍රතිචාර වශයෙන් එය සිදු කළ බව උතුරු කොරියාව පවසයි.
(සටහන : හර්ෂ උදයකාන්ත )
(CNN ඇසුරිණි)
මූලාශ්‍ර :
Top Olympics official ‘deeply sorry’ for introducing South Korea as North Korea during opening ceremony



