The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව ජයග්‍රහණය උදුරා ගැනීමෙන් පසුව සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව පරදී

T

The Leader Desk

July 31, 2024 • 6:51 AM

ඉන්දියාව ජයග්‍රහණය උදුරා ගැනීමෙන් පසුව සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව පරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි හා අවසාන T20 තරගය සම ලකුණුවලින් අවසන් කර ගැනීමෙන් පසුව ‘සුපිරි ඕවරය’ සටනින් පරාජයට පත්වූයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තුළ දැඩි කලකිරීමක් ඇති කරමින්.
  • පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 9කට ලකුණු 137ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව ද කඩුලු 8කට ලකුණු 137ක් ලබා ගත්තා.
  • ඉන්පසුව පැවති කඩුලු 2කට පමණක් සීමා වූ ‘සුපිරි ඕවරය’ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.
  • සුපිරි ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණක් අවශ්‍යව සිටි ඉන්දියාව වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදව්, මහීෂ් තීක්ෂණගේ පළමු පන්දුවට ම අසිත ප්‍රනාන්දුගේ දෙපා මැදින් හතරේ පහරක් එල්ල කරමින් ඉන්දියාව ට ජයග්‍රහණය ලබා දුන්නා. තරගයේ වැඩි කාලයක් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි හා අවසාන T20 තරගය සම ලකුණුවලින් අවසන් කර ගැනීමෙන් පසුව ‘සුපිරි ඕවරය’ සටනින් පරාජයට පත්වූයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තුළ දැඩි කලකිරීමක් ඇති කරමින්.
 
c 893
පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 9කට ලකුණු 137ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව ද කඩුලු 8කට ලකුණු 137ක් ලබා ගත්තා. ඉන්පසුව පැවති කඩුලු 2කට පමණක් සීමා වූ ‘සුපිරි ඕවරය’ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. එක් ලකුණක් ‘වයිඩ්’ පන්දුවෙන් ලැබුනු අතර අනෙක් ලකුණ ලබා ගත්තේ කුසල් මෙන්ඩිස්. 
c 894 
වොෂිංටන් සුන්දර්ගේ තෙවැනි හා සිවුවැනි පන්දුවලින් පිළිවෙලින් කුසල් ජනිත් පෙරේරා හා පැතුම් නිස්සංක හතරේ සීමාව අසල සිටි පන්දු රකින්නන්ට උඩ පන්දු ලබා දෙමින් දැවී ගියා.

සුපිරි ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණක් අවශ්‍යව සිටි ඉන්දියාව වෙනුවෙන් නායක සූර්යකුමාර් යාදව්, මහීෂ් තීක්ෂණගේ පළමු පන්දුවට ම අසිත ප්‍රනාන්දුගේ දෙපා මැදින් හතරේ පහරක් එල්ල කරමින් ඉන්දියාව ට ජයග්‍රහණය ලබා දුන්නා. 
 
තරගයේ වැඩි කාලයක් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාව යි. ජයග්‍රහණය සඳහා අවසාන ඕවර දෙකෙන් ඔවුන්ට අවශ්‍යව තිබුනේ ලකුණු 9ක් පමණයි. ඒ වන විට ඔවුන් සතුව තවත් කඩුලු 6ක් ද ඉතිරිව තිබුනා.  
c 895 
ශ්‍රී ලංකාව 16 වැනි ඕවරය වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් රැස්කර ගෙන සිටි අතර කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව අනෙක් කඩුලු 6 මුළු ලකුණු 137 වන විට බිඳ වැටුනා. 

ප්‍රථම වතාවට ජාත්‍යන්තර විස්සයි20 තරගයක පන්දු යැවූ රින්කු සිං 19 වැනි ඕවරයේදී කඩුලු 2ක් බිඳ හෙලුවේ ලකුණු 3ක් පමණක් ලබා දෙමින්. කුසල් ජනිත් පෙරේරා හතරේ පහර 5ක් එල්ල කරමින් පන්දු 34කින් ලකුණු 46ක් ලබා ගෙන දැවී ගිය අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 3කට දැවී ගියා.
 
ඒ අනුව අවසාන පන්දු හයෙන් ලකුණු හයක් ශ්‍රී ලංකාව ට අවශ්‍යව තිබුනා. අවසන් ඕවරය යැවීම පිණිස සූර්යකුමාර් පන්දුව අතට ගත්තේ බොහෝ දෙනා මවිතයට පත් කරවමින්. ඔහු ද පන්දු යැවුවේ ජාත්‍යන්තර T20 තරගයක ප්‍රථම වතාවට. එහෙත් ඔහු ලකුණු පහක් පමණක් ලබා දී කඩුලු දෙකක් බිඳ හෙලමින් තරගය දෙපිල ම සම අවසානයක් කරා ගෙන ගියා. ජයග්‍රාහකයින් තීරණය කෙරෙන ‘සුපිරි ඕවරය’ ක්‍රීඩා කෙරුනේ ඉන්පසුව.
c 896 
ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පන්දු 53කින් ලකුණු 58ක් රැස් කරමින් සිටියදී නිස්සංක, රවි බිෂ්නොයිගේ පන්දුවට රියාන් පරාග් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. හතරේ පහර 5ක් එල්ල කළ නිස්සංක පන්දු 27කින් ලකුණු 26ක් ලබා ගත්තා.

මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 52ක සබඳතාවක් ගොඩනැගුවා. මෙන්ඩිස් හතරේ පහර 3ක් සමග පන්දු 41කින් ලකුණු 43ක් රැස්කර බිෂ්නොයිගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියා. ඔහු එම තීරණය යළි නිරීක්ෂණය කරන ලෙසට ඉල්ලා සිටියද තෙවැනි විනිසුරු ද පිටියේ විනිසුරුගේ තීරණය අනුමත කළා. 

මෙන්ඩිස් ලකුණු 12ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් ගැලවුනේ ඔහුගේ පිත්තේ ස්පර්ශ වී පැමිණි මොහමඩ් සිරාජ්ගේ පන්දුව රැක ගැනීමට කඩුලු රකින සන්ජු සැම්සන් අසමත් වීම නිසා.

මෙන්ඩිස් දැවී යාමෙන් පසුව පෙර පැවති T20 තරග දෙකේදී මෙන්ම මේ තරගයේ ද ශ්‍රී ලංකා මැද පිතිකරු පෙල කඩා වැටුනේ ඉන්දියාව ට 3-0ක තරගමාලා ජයග්‍රහණයක් අත්කර දෙමින්.
 
chamindu 7
කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු ප්‍රහාරය ආරම්භ කළේ සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මහනුවර උපන් 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ. ඔහු තමන්ගේ මංගල තරග කැප් තොප්පිය ලබා ගත්තේ ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය අතින්. ඊයේ තරගයට චමිඳු කැඳවා තිබුනේ දසුන් ශානක වෙනුවට.
වර්ෂාව හේතුවෙන් පැයක් ප්‍රමාද වී ඇරඹුනු තරගයේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඉන්දියා පළමු කඩුල්ල බිඳ වැටෙමින් යශාස්වි ජයිස්වාල් (10) දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව. පිටියේ තරග විනිසුරුගේ තීරණයට එරෙහිව පිතිකරුවා අභියෝග කළ ද තෙවැනි විනිසුරුගේ තීරණය ද එය ම වුනා.
 
c 890
තවත් පන්දු හතක් ඇතුළත ඉන්දියා කඩුලු 2ක් බිඳ වැටෙමින් සන්ජු සැම්සන් (0) හා රින්කු සිං (1) දැවී ගියා. මේ අනුව පන්දු 19ක් ඇතුළත ඉන්දියා කඩුලු 3ක් ලකුණු 14කට බිඳ වැටී තිබුනා. වනිඳු හසරංගගේ දක්ෂ උඩ පන්දු රැකීමකින් සැම්සන් දැවී ගියේ චමිඳු වික්‍රමසිංහ ට ඔහුගේ මංගල ජාත්‍යන්තර T20 කඩුල්ල ලබා දෙමින්. රින්කු සිං දුන් උඩ පන්දුව මතීෂ පතිරණ රැක ගත් අතර පන්දු යවන්නා වූයේ තීක්ෂණ.

හය වැනි ඕවරයේදී ඉන්දියා නායක සූර්යකුමාර් යාදව් (8) ආපසු ක්‍රීඩාගාරයට යැවීමට අසිත ප්‍රනාන්දු සමත් වුනේ ‘ෆයින් ලෙග්’ ස්ථානයේ සිට හසරංග උඩ පන්දුව රැක ගැනීම නිසා. හය වැනි ඕවරය අවසන් වන විට ඉන්දියාව ට ලකුණු 30කට කඩුලු 4ක් අහිමි වී තිබුනා. 

චමිඳු වික්‍රමසිංහ ඔහුට සීමිත ඕවර හතරේදී ලකුණු 17ක් පමණක් ලබා දී කඩුල්ලක් හිමිකර ගෙන සිය මංගල ජාත්‍යන්තර පන්දු යැවීම අවසන් කළා.
 
c 891
ෂිවම් ඩූබ් (13) පස්වැනි කඩුල්ල ලෙසින් නව වැනි ඕවරයේ දැවී යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ මුළු ලකුණු 48ක් පමණයි. ඩූබ් දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පිට දඟ පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.
 
පා දඟ පන්දු යවන වනිඳු හසරංගගේ තෙවැනි ඕවරයෙන් ලකුණු 15ක් උදුරා ගැනුනේ රියාන් පරාග් හයේ පහර 2ක් එල්ල කරමින්. එහෙත් තමාගේ ඊළඟ ඕවරයේදී කඩුලු 2ක් බිඳ හෙලීමට හසරංග සමත් වූයේ ෂුබ්මන් ගිල් හා පරාග්ගේ පන්දු 40කින් ලකුණු 54ක හය වැනි කඩුලු සබඳතාව ද අවසන් කරමින්. ගිල් හතරේ පහර 3ක් සමග පන්දු 37කින් ලකුණු 39ක් රැස් කර ස්ටම්ප් කිරීමකින් දැවී ගිය අතර පරාග් පන්දු 18කින් ලකුණු 26ක් ලබා ගෙන රමේෂ් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඉන්දියාව කඩුලු 7යි ලකුණු 105යි (ඕවර 15.5)
c 892 
වොෂිංටන් සුන්දර්ගේ පිතිහරඹය මධ්‍යයේ අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක් එක් වෙමින් තිබියදී තීක්ෂණගේ පන්දුව කඩුල්ලේ ගැටීමෙන් සුන්දර් දැවී ගියා. 

හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග සුන්දර් පන්දු 18කින් ලකුණු 25ක් රැස් කළා. මොහමඩ් සිරාජ්ගේ දුවද්දී දැවී යාමත් සමග ඉන්දීය ඉනිම කඩුලු 9 ට ලකුණු 137කට අවසන් වුනා. මහීෂ් තීක්ෂණ ලකුණු 28 ට කඩුලු 3ක් ලබා ගත්තා.

තරග 2-0ක තරගමාලා ජයක් අත්කර ගෙන සිටි ඉන්දියාව ඊයේ අවසන් තරගය සඳහා හාඩික් පාණ්ඩ්‍යා, අක්සාර් පටල්, ආශ්ඩීප් සිං හා රිශාබ් පාන්ට් විවේක ගන්වා තිබුනා.

දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාව එළඹෙන සිකුරාදා කොළඹදී ආරම්භ වනවා.
 


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාව ජයග්‍රහණය උදුරා ගැනීමෙන් පසුව සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව පරදී | The Leader