නැත.
මේ ඔබ සිතූ ජාතික කණ්ඩායම හෝ පාසල නොවේ.
මේ ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

එම කණ්ඩායමට ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් සිව්දෙනකු ඇතුළත්ව සිටියි.
මව්බිමට ආසියානු කුසලානය ගෙන දෙමින් ජයග්‍රාහී හයේ පහර එල්ල කළ කවීෂා දිල්හාරි එක් ක්‍රීඩිකාවකි.
සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි සහ ශෂිනි ගිම්හානි සෙසු ක්‍රීඩිකාවන් ය.
මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් ලද සුවිශේෂී කණ්ඩායමකට ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් බිහි කිරීමට නම් එම පාසල සහ එහි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව විශිෂ්ට විය යුතුය.
එහි පුහුණුකරුවන් සුවිශේෂි විය යුතුයි. එහි පරිපාලනය වෙනස් සහ නිර්මාණශීලි විය යුතුය.
දක්ෂ ක්‍රීඩිකාවන් රටට බිහි කළ එම පාසල නිසා මව්බිම දිදුලයි. එම ක්‍රීඩිකාවන් නිසා ඔවුන්ගේ පාසල දිදුලයි.
පාසල සහ රට අතර සම්බන්ධය එසේ විය යුතුය.
ජයාග්‍රාහී කණ්ඩායමට ගාල්ලෙන් එක්වූයේ ඔවුන් සිව් දෙනා පමණක් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නිය සහ ජයග්‍රහණයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ උදේශිකා ප්‍රබෝධිනි ගාල්ල, කරන්දෙනියෙන් කණ්ඩායමට එක්වේ.
කණ්ඩායමේ කඩුලු රකින්නිය සහ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහී ඉනිම දියත් කළ අනුෂ්කා සංජීවනි හික්කඩුවේ ය.
අද එම ක්‍රීඩිකාවන්ට රටක් ආදරය කරයි.
ඔවුන් පිළිබඳව රටක් ආඩම්බර වේ. ඔවුන් අයිති රටටයි.
ඒ පසුපස ඇති එකම රහස ඔවුන්ගේ කැපවීම, ධෛර්යය සහ ජයග්‍රහණ පිපාසාවයි.
ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් සිය වගකීම නිසි ලෙස ඉටු කරද්දී එය ඔවුන් උපන් බිමටත්, ඔවුන් ක්‍රීඩාවට පා තැබූ පාසලටත් ගෞරවයකි.
ක්‍රීඩකයන් සිය මූලික වගකීම අමතක කොට කටයුතු කරද්දී ඔවුන්ගේ අක්මුල් ද විවේචනයට ලක්වේ.
එය ඔවුන් විසින් තමන් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වූ, තමන් විශිෂ්ටයෙකු කළ භූමියට සිදුකරනා බලවත් අසාධාරණයකි.
එම භූමියෙන් බිහිවීමට නියමිත ඊළඟ පරපුරට ද සිදු කරනා අසාධාරණයකි.
ප්‍රශංසාව සහ නින්දාව රඳා පවතින්නේ ජයග්‍රහණය මත පමණක් නොවේ.
ඔවුන්ගේ කැපවීම සහ අවංක අභිලාෂ හඳුනා ගැනීමට ක්‍රිකට් රසිකයන් සමත් ය.
ඇතැම් විටෙක ඔවුන්ගේ අභිලාෂ පිරිසිදු නම්, ඔවුන්ගේ කැපවීම පැහැදිලි නම් තියුණු පරාජයක් හෝ දරා ගැනීමට තරම් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයා බුද්ධිමත්ය.
මෙරට රසිකයන් මස් රාත්තලම ඉල්ලා සිටිනා ඉන්දියානු පන්නයේ ශයිලොක් ලා නොවේ.
එබැවින් ක්‍රීඩකයන් සතු වගකීම වන්නේ මව්බිමට ලබා දිය හැකි උපරිමය ලබා දීමත්, රටක් ඉදිරියේ සිය අක්මුල් ලැජ්ජාවට පත් නොකර ඒවාට ගෞරවය දිනා දීමයි.
මන්ද සිය පුද්ගලික අසමත්වීම් හෝ දුර්ගුණයන්ට සිය පාසල හෝ අක්මුල් වගකිව යුතු නොවූවත්, වංක පරාජයන් හීදි ඒවා ද ඉස්මතු වන බැවිනි.
රත්ගම දේවපතිරාජයෙන් බිහිව ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවන් සිව් දෙනාගෙන් ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම උගත යුතු පාඩම එයයි.
(ඉරේශාන් සිරිවර්ධන)
ක්‍රීඩා ලේඛක
2ireshan@gmail.com
2024. 08. 01
(Ireshan Siriwardhana ගේ ෆේස්බුක් පිටුවෙන්)



