ඇය අවම වශයෙන් ඔලිම්පික් ලෝකඩ පදක්කම ආසන්නයට පැමිණ සිටින්නේ හංගේරියාවේ ඇනා ලූකා හේමරායි සමග ඊයේ පැවති කාන්තා කිලෝග්‍රෑම් 66 වෙල්ටවේට් අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඒකමතික වැඩි ලකුණු ජයග්‍රහණයක් අත්කර ගැනීමෙන් පසුව.

කලීෆ් මේ තීරණාත්මක තරගය ජය ගත්තේ ඇයට අතිශය ලැදියාවක් දැක්වූ අති විශාල නරඹන්නන් පිරිසක් ඉදිරියේ. මේ තරගය ආරම්භ වීමට පෙර සිට ම, ඇගේ ක්‍රීඩා ලෝලීන් කළින් තරගවලදී ඇයට සහාය දක්වා තිබූ අතර කලීෆ් ඊයේ උතුරු පැරිස් බොක්සිං වළල්ලට පිවිසෙන විට ඔවුන් ඇගේ නම කෑගසමින් ‘චියර්’ කළේ දිනයේ ලොකුම ඝෝෂාව නගමින්. කලීෆ්ගේ ආධාරකරුවන් හේමරායි ට “හූ” කියමින් සරදම් කළ අතර හංගේරියානු ක්‍රීඩිකාව බොක්සිං වළල්ලට පා තබන විට ඇයට ලැබුනේ උඩින් පල්ලෙන් අත්පොලසනක්.

ක්‍රීඩාගාරයේ තිබුනේ සැලකිය යුතු තරමේ ඇල්ජීරියානු පෙනුමක්. බොහෝ දෙනා දෙපයින් නැගී සිට කලීෆ් ට සහාය දැක්වූයේ ජාතික කොඩි හා උර සළු වනමින්. ඇල්ජීරියාව හා ප්‍රංශය අතර තිබෙන සමීප ඓතිහාසික සබඳතා හේතුවෙන් විශාල ඇල්ජීරියානු ප්‍රජාවක් ප්‍රංශයේ සිටිනවා. ඇල්ජීරියාව ප්‍රංශයෙන් නිදහස ලැබුවේ 1962 වසරේ දී.
කලීෆ් මේ අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ගමනේදී ඇය වටා තිබූ අධික ලෙස ව්‍යාප්ත වූ මාධ්‍ය ආවරණය හා වෛරී ප්‍රකාශයන් පිළිබඳව ඇගේ ක්‍රීඩා ලෝලීන් හොඳින් දැන සිටියා.

ඉතාලියේ අන්ජෙලා කරීනි සමග පැවති කලීෆ්ගේ පළමු තරගය කරීනි තත්පර 46කින් අත්හැරීමෙන් පසුව, කාන්තාවන්ට තරග කිරීමට අවසර දෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංවාදයක් හටගත්තේ වැරදි තොරතුරු බොහොමයක් මත. එයින් සමාජ මාධ්‍යයේ පරිභව කිරීම්වලට මාර්ගය විවර වූ අතර සමහරු කලීෆ්ව පිරිමියෙකු ලෙස වැරදියට හැඳින්වූවා. ඒ, ඇයට තිබෙනවා යැයි කියන වැඩි ශාරීරික ශක්තිය නිසා. කලීෆ් උපත ලැබුවේ කාන්තාවක් ලෙස. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් පවසා තිබෙන්නේ ඔහුගේ කමිටුව ඉතාමත් ශක්තිමත්ව කලීෆ් ට සහයෝගය දක්වන බව.
“දේශපාලනිකව පොලඹවන සංස්කෘතික යුද්ධයකට” තම සංවිධානය සහභාගි නොවන බවට බාහ් ප්‍රකාශ කර තිබෙනවා
“කාන්තාවක ලෙස උපන්, කාන්තාවක ලෙස උස් මහත් කරනු ලැබූ, කාන්තාවක ලෙස විදෙස් ගමන් බලපත්‍ර තිබෙන හා වසර ගණනාවක් තිස්සේ ම කාන්තාවන් ලෙස තරග කළ බොක්සිංකරුවන් දෙන්නෙක් අපට ඉන්නවා. මේ දෙන්නා කාන්තාවන් බවට කිසිම සැකයක් කිසිවිටක තිබුනේ නැහැ” Bach කියා තිබුනා.
අවසානයේ කලීෆ් ඊයේ හේමරායි ට එරෙහි තරගය ඒකමතික වැඩි ලකුණුවලින් ජයග්‍රහණය කළේ තරගයේ වට තුන ම ජය ගනිමින්. තරගයෙන් පසුව හංගේරියානු ක්‍රීඩිකාව කලීෆ් ට අතට අත දුන් අතර කලීෆ් කඳුළු පිරි දෙනෙතින් යුතුව බොක්සිං වළල්ලෙන් පිටව ගියේ මාධ්‍ය කුණාටුවකට මැදිව දින දෙකක් තිස්සේ කරදර බාධා විඳ දරා සිටීමෙන් පසුව.

“ඉමාන් කලීෆ් වෛරී වාග් ප්‍රහාරවලට දිගටම ලක්වීම නිසාත්, ඇයට බොහෝ විවේචන එල්ල වූ නිසාත්, ඇයව පිරිමියෙකුට සමාන කළ නිසාත්, මම එයාගෙ ජයග්‍රහණය ගැන ඉතාම සතුටු වනවා” යනුවෙන් බොක්සිං වළල්ල ළඟින් ම සිටි නරඹන්නෙක් කියා සිටියා. “අපි එයාට සහාය දෙන්න මෙතනට ආවේ ඒ වෙච්ච දේවල් නිසායි. අපි දැන් වඩාත් සතුටු වෙන්නේ ඇය ජයග්‍රාහිකාව විදියට බොක්සිං වළල්ලෙන් පිටවූ නිසා. අවසානයේ එයාගෙ ඇස් කඳුලුන් පිරී තියෙන අයුරු අපි දැක්කා. එයාට සිදුවුනු දේවල් එයාගෙ මනසට තදින් බලපෑ බව එයින් පැහැදිලි වෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන් ම අපට ඉතාම, ඉතාම සතුටුයි.”

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දැන් සහතික කරගෙන සිටින කලීෆ් රන් පදක්කම සඳහා වන සටනේ ස්ථානයක් හිමිකර ගැනීම පිණිස ලබන අඟහරුවාදා තායිලන්තයේ Janjeem Suwannapheng සමග අවසන් පූර්ව තරගයට සහභගි වීමට නියමිතයි. එම තරගයේ ප්‍රතිඵලය කුමක් වූව ද, ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් ට අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ හිමිවනු ඇත්තේ ඔලිම්පික් ක්‍රමවේදයට අනුව අවසන් පූර්ව පරාජිතයා ට ද එම පදක්කම ලබා දෙන බැවින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි ලිපි :
පිරිමි ජාන සහිත කාන්තාවන් දෙදෙනෙක් නිසා රත්වන පැරිස් ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ල
ඔබ ජෙන්ඩර් ෆෝබියා තත්වයකින් පෙලෙනවාද? - (චින්තන ධර්මදාස)
ඔලිම්පික් කාන්තා බොක්සිං වළල්ලේ මහා අවුලක්



