විනේශ් ෆෝගාට් ශරීරයේ බර ග්‍රෑම්ස් සියයකින් වැඩි වීම හේතුවෙන් ඔලිම්පික් පදක්කමක් අහිමි කර ගත් සිද්ධියත් සමග ඉන්දියානු කාන්තා මල්ලවපොර කඳවුරෙන් වාර්තා වන්නේ තවත් අකරතැබ්බයක්.
විනේශ් ෆෝගාට්
ඒ, අන්ටිම් පංඝාල් (Antim Panghal) නමැති ක්‍රීඩිකාව හා ඇගේ පිරිවර පැරිසියෙන් පිටුවහල් කිරීමට නියමිතව තිබීම. මීට හේතු වී තිබෙන්නේ මල්ලවපොර ක්‍රීඩිකාවගේ ඔලිම්පික් හැඳුනුම් පත භාවිතා කරමින් ඇගේ සොයුරිය ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයට ඇතුළු වීමේදී පොලිසියේ අත්අඩංගුවට පත්වීම.
දහනව හැවිරිදි කණිෂ්ඨ ලෝක ශූරියක වන අන්ටිම් සහ ඇයගේ කණ්ඩායමේ සියළු දෙනා රටින් නෙරපා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා
පොලිසිය විසින් අන්ටිම්ගේ සොයුරිය වන නිශාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇය නිදහස් කර තිබෙනවා. දහනව හැවිරිදි කණිෂ්ඨ ලෝක ශූරියක වන අන්ටිම් සහ ඇයගේ කණ්ඩායමේ සියළු දෙනා රටින් නෙරපා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙන අතර ඇයට ඔලිම්පික් පිළිගැනීම ලබා දෙන හැඳුනුම් පත ද අහෝසි කර තිබෙනවා. මේ සිද්ධිය ඇතිවීමට පෙර අන්ටිම්, කිලෝග්‍රෑම් 53 තරගයේදී තුර්කියේ Yetgil Zeynep හමුවේ 0-10ක නින්දා සහගත පරාජයක් ලැබ තිබුනා.
“ප්‍රංශ බලධාරීන් විසින් ඉන්දියානු ඔලිම්පික් සංගමය වෙත විනය කඩකිරීමේ සිද්ධියක් ඉදිරිපත් කිරීමෙන් පසුව අන්ටිම් සහ ඇයගේ ආධාරක මණ්ඩලය නැවත ඉන්දියාව ට යැවීමට සංගමය තීරණය කර තිබෙනවා” යනුවෙන් එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන්.
තරගයෙන් පරාජය වීමෙන් පසුව අන්ටිම්, ඇගේ පුහුණුකරුවන් නතර වී සිටි හෝටලයට ගොස් තිබෙනවා.
තරගයෙන් පරාජය වීමෙන් පසුව අන්ටිම්, ඇගේ පුහුණුකරුවන් නතර වී සිටි හෝටලයට ගොස් තිබෙනවා. එහිදී ඇය, තමාගේ ඇඳුම් පැළඳුම් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් රැගෙන එන ලෙසට ඇගේ සොහොයුරියට පවසා තිබෙනවා. ඔලිම්පික් ගම්මානයට ඇතුළු වීමට ඇගේ සොයුරිය සමත් වූවද, ඇය එතැනින් පිටව යද්දී ආරක්ෂක නිලධාරියා ඇයව අල්ලා ගෙන තිබෙනවා.
ඇයගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා සොයුරිය දේශීය පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙන අතර අන්ටිම්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම පිණිස පොලිසිය ඇය ද කැඳවා තිබෙනවා.
මේ කරදරයට තවත් කරදරයක් එක් කරමින්, ලෝක ශූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභිනියක ද වන අන්ටිම්ගේ පෞද්ගලික සහාය මණ්ඩලයේ පුද්ගලයන් දෙදෙනා වෙරිවුණු තත්ත්වයෙන් කුලී රථයකින් ගමන් කර මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රියදුරා පොලිසිය කැඳවා තිබෙනවා.

“අපි මුහුණ දී සිටින්නේ නරක තත්ත්වයකට. මේ ගැන අපේ ආරක්ෂක නිලධාරියා කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ව රටින් නෙරපා දමාවි. අපි බලමු” යනුවෙන් ඉන්දියානු ඔලිම්පික් සංගමයේ ප්‍රකාශකයෙක් කියා තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



