(Noah Lyles) මීටර් 200 ඉසව්වේ ඔලිම්පික් ලෝකඩ පදක්කම හිමිකර ගෙන ඇත්තේ කොවිඩ් රෝගය ආසාදනය වී සිටියදී තරග කරමින් බවට අනාවරණය වී තිබෙනවා.
තමාට කොවිඩ්-19 වැළඳී තිබෙන බවට මේ සතිය මුලදී තහවුරු වී තිබුනද එය නොතකා තමා ඊයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති මීටර් 200 ඉසව්වට සහභාගි වූ බව ලයිල්ස් කියා තිබෙනවා.
අඟහරුවාදා උදේ අවදි වූ විට තමාට ඇත්ත වශයෙන්ම මහත් අප්‍රසන්න ගතියක් දැනුනු බවත් ජලය පානය කරමින් තමා තනි වී සිටි බවත් ලයිල්ස් NBC පුවත් සේවයට පවසා තිබෙනවා. අඟහරුවාදා උදේ පහට ලැබුනු කොවිඩ් ආසාදන ප්‍රතිඵලයෙන් පසුව ලයිල්ස් ඔලිම්පික් ක්‍රීඩක ගම්මානයෙන් පිටව ගොස් අසල හෝටලයක නතර වී තිබෙන්නේ හුදෙකලා වීමේ අරමුණින්.
ලයිල්ස් අඟහරුවාදා අවදි වූයේ උණ ගතියෙන් යුත් සීතලකින්, සිරුරේ වේදනාවකින් හා වේදනා සහිත උගුරකින් යුතුව.

“මම අඟහරුවාදා උදේ පහට තරම් වේලාසන අවදි වුනාම මට දැනුනේ ඇඟට අමාරු ගතියක්. එය මම තරග කළ මීටර් 100 ඉසව්ව නිසා ඇතිවූ අපහසුතාවක් නොවන බව මට තේරුණා. මම වෛද්‍යවරුන් ඇහැරවලා අපි පරීක්ෂණයක් කළා. අවාසනාවකට එහි ප්‍රතිඵලය වුනේ මට කොඩිඩ් වැළඳී තිබෙන බව” යනුවෙන් ලයිලස් එම පුවත් සේවයට කියා තිබෙනවා.
“මට ඉස්සෙල්ලම හිතුනේ කලබල නොවී ඉන්න ඕන කියල. මම මීට වඩා අමාරු තත්ත්වයන් යටතේ දුවලා තිබෙන බව මට මතත් වුණා.”
කොවිඩ් රෝගය තමාට වැළඳී ඇති බවට ලැබුනු පරීක්ෂණ ප්‍රතිඵල තමාගේ සමීපතම කවයෙන් පිට නොයාමට සඟවා ගෙන සිටියේ ඔලිම්පික් ධාවන ඉසව්වලට අනතුරු ඇඟවීමක් නිකුත් වෙමින් එමගින් තමාගේ ප්‍රතිවාදීන්ට තරගකාරී වාසියක් නොලැබීමට වගබලා ගැනීම පිණිස යැයි ලයිල්ස් කීවා.
“හැමදෙනාම කලබල වෙනවා දකින්න අපට අවශ්‍ය වුනේ නැහැ. අපට ඔ්න කළේ අපේ අනෙක් ක්‍රීඩකයන් තරග කරනවා දකින්නයි. පුළුවන් තරම් දුරට මේක රහසක් විදියට තියාගන්නයි අපට උවමනා වුනේ. කිසිම තරගකරුවෙක් තමා ලෙඩින් ඉන්න බව ඔහුගේ තරගකරුවන්ට කියන්නේ නැහැ.”
ළමා වියේදී බරපතළ ඇදුම රෝගයෙන් පෙළුනු ලයිල්ස් නිතරම රාත්‍රීන් ගත කර තිබෙන්නේ රෝහලේ ආඝ්‍රාණක යන්ත්‍රයකට සම්බන්ධව සිටිමින්. වැඩිහිටියෙකු වශයෙන් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්ව ඇතත් එය කිසිම විටක ඔහුගේ තරගවලට ප්‍රබල අයුරින් බලපා නැහැ.
ඉදිරියේ පැවැත්වෙන සහාය දිවීමේ ඉසව්වට ලයිල්ස් සහභාගි වනු ඇතැයි යම් බලාපොරොත්තුවක් තිබුනද, පැරිසියේ වේලාවෙන් සිකුරාදා (අද) අළුයම ‘ඉන්ස්ටග්‍රෑම්’ පෝස්ටුවකින් ඔහු කියා තිබුනේ, තමාගේ ඔලිම්පික් ක්‍රීඩාව අවසානයට පැමිණ ඇති බවට තමා විශ්වාස කරන බව.

“මෙය මගේ 2024 ඔලිම්පික් ක්‍රීඩාවේ අවසානය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මම සිහින මැවුවේ ඔලිම්පික් ගැන නෙවෙයි. නමුත් එය මගේ හදවත තුළ ලොකු සතුටක් ඉතිරි කර තිබෙනවා” ලයිල්ස් ‘ඉන්ස්ටග්‍රෑම්’වලින් කියා සිටියා. “මගේ ක්‍රීඩාව දැකීමෙන් සියළු දෙනා සතුටු වන්න ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ මා වෙනුවෙන් හිටියත් නැතත්, ඔබ මගේ තරගය නැරඹූ බව ඔබ පිළිගත යුතුයි. ඔබ එය දුටුවා නේද?”
කොවිඩ් රෝගය වැළඳුන ද, තමාගේ ක්‍රීඩාව පිළිබඳව තමා ආඩම්බර වන බව ඔහු පැවසුවා.
“නිරෝධායනයට ලක්වෙමින් පුළුවන් තරම් වතුර බීමට උත්සාහ කරමින් අපි මේ ප්‍රශ්නයට දවසින් දවස මුහුණ දුන්නා. එයින් ඇඟට හානියක් සිදුවූ බව පැහැදිළියි. නමුත් මේ තරග බිමට පැමිණ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකිවීමේ ආඩම්බරය තරම් වැඩි ආඩම්බරයක් මට මීට පෙර කවදාවත් දැනිලා නැහැ. පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මම ඉතාමත් කලකිරීමට පත්වුනා. මේ පාර, මට මීට වඩා ආඩම්බර වෙන්න බැහැ.”
නෝව ලයිල්ස් කොවිඩ් රෝගයට ගොදුරු වී සිටින බව දැනගන්නට ලැබුනේ ඔහු, ඔහුගේ ප්‍රියතම ඉසව්ව වන මීටර් 200 තරගයෙන් විස්මිත අයුරින් පරාජය වී ටික වේලාවකට පසුව. තරගයට පෙර ඔහු ශරීරය උණුසුම් කරන ව්‍යායාම සඳහා වෙන්වූ ගෘහස්ථ කලාපයට ඇතුළු වූයේ මුව ආවරණයක් පැළඳ වූවද ඔහුගේ ශරීර දුර්වලතාව අනෙක් තරගකරුවන්ට නොදැනෙන අයුරින් සිටීමට ඔහු කටයුතු කළා. ලයිල්ස් එම තරගය තෙවැනියට අවසන් කළේ පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථාන ලබා ගත් බොස්ටවානා හි Letsile Tebogo හා ස්වදේශික Kenneth Bednarek අභිබවා යාමට අසමත් වෙමින්.
කෙසේ වෙතත්, මේ තරගයේ ප්‍රතිඵලය සිරස්තලවලින් මැකී ගියේ අවසන් රේඛාව පසුකළ සැණින් ලයිල්ස් ධාවන පථයේ බිම දිගාවීම හේතුවෙන්. වෛද්‍ය මාණ්ඩලික නිලධාරීන් විසින් ඔහුව ධාවන පථයෙන් ඉවතට ගෙන වෛද්‍ය පහසුකම් සපයන ස්ථානය වෙත රැගෙන ගියේ රෝද පුටුවෙන්.
ඉතාමත් තියුණු අවසානයකින් ඉරිදා මීටර් 100 ඉසව්ව ජය ගැනීමෙන් පසුව මීටර් 200 ඉසව්ව හා ඉන්පසුව, දැන් සහභාගි විය නොහැකි, මීටර් 4x100 සහාය දිවීමේ තරගය ද ජයග්‍රහණය කර අවම වශයෙන් රන් පදක්කම් තුනක් මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් හිමිකර ගැනීමේ දැඩි විශ්වාසයෙන් සිටි මේ ක්‍රීඩකයාගේ 2024 ඔලිම්පික් ගමන අවසන් වනු ඇත්තේ කොවිඩ් සමග ලෝකඩ පදක්කමකින්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



