අමෙරිකාව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් 126ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්වූ චීනය ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිය ද, දෙරට අතර රන් පදක්කම් සඳහා වූ සටන මෙවර ඔලිම්පික් උළෙලේ අවසාන තරගය දක්වා ම දිගහැරුනේ අමෙරිකාව එක් පදක්කමකින් චීනය ට වඩා පිටුපසින් සිටියදී.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ අවසන් දිනය එළඹෙන විටත් අමෙරිකාව හා චීනය අතර රන් පදක්කම් සඳහා තිබුනේ තියුණු සටනක්
චීනය රන් පදක්කම් 40ක් දිනා ගෙන ඔවුන්ගේ පැරිස් ඔලිම්පික් මෙහෙයුම අවසන් කර තිබියදී අමෙරිකාව ප්‍රංශය ට එරෙහිව කාන්තා බාස්කට්බෝල් අවසාන තරගයට පිවිසියේ රන් පදක්කම් 39ක් අතැතිව. තියුණු තරගයකින් පසුව අමෙරිකානු කණ්ඩායම තරගය ජය ගනිමින් රන් පදක්කම් සටනේ චීනය සමග සම තත්ත්වයට පැමිණියා.

සමස්ත පදක්කම් සටහන අමෙරිකාව මෙවරත් ආක්‍රමණය කළේ රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44ක් හා ලෝකඩ පදක්කම් 42ක් සමග මුළු පදක්කම් 126ක් ලබා ගනිමින්. දෙවැනි ස්ථානයට පත් චීනය රන් 40ක්, රිදී 27ක් හා ලෝකඩ 24ක් සමග සමස්ත පදක්කම් 91ක් ලබා ගත් අතර මේ අනුව අමෙරිකාව චීනය ට වඩා විශාල පෙරමුණක් ලබා ගෙන සිටියා. චීනයේ මෙවර ප්‍රතිඵලය සිය රටෙන් පිට පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ඔවුන්ගේ හොඳම දක්ෂතාව යි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තෙවැනි ස්ථානයට පත්වූයේ ජපානය යි. ඔවුන් රන් පදක්කම් 20ක් රැස්කර ගත් අතර රන් 18ක් ලබා ගත් ඔස්ට්‍රේලියාව සිවුවැනි ස්ථානයටත්, රන් 16ක් ලබා ගත් ප්‍රංශය පස්වැනි ස්ථානයටත් පත්වුනා.
අවසාන දිනයේදී රන් පදක්කම් සටහනේ චීනය අභිබවා යාමට අමෙරිකාව ට අවස්ථාව උදා වී තිබුනේ ඔවුන්ගේ කණ්ඩායම් හා ක්‍රීඩිකාවන් රන් පදක්කම් සඳහා කාන්තා බාස්කට්බෝල්, කාන්තා වොලිබෝල්, කාන්තා නිදහස් ආර මල්ලවපොර (කිග්‍රෑ76), කාන්තා බර ඉසිලීම (කිග්‍රෑ81) සහ සියළු ඔලිම්පික් පාපැදි ඉසව්වල වඩාත්ම බහුකාර්ය තරගය වන omnium ධාවන පථ පාපැදි තරගයේ කාන්තා ඉසව්වේ තරග කළ බැවින්. අමෙරිකානු පාපැදි ශූරී Jennifer Valente ඇගේ කාන්තා omnium කිරුළ රැක ගනිමින් ලකුණු 144ක් ලබා ගෙන තරගය අවසන් කළේ අමෙරිකාව ට ඔවුන්ගේ 39 වැනි රන් පදක්කම ලබා දෙමින්.
චීනයේ Li Wenwen
චීනයේ Li Wenwen කාන්තා බර ඉසිලීම කිග්‍රෑ81 බර පංතියේ පසුගිය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලබා ගත් ශූරතාව මෙවරද රැක ගනිමින් චීනය ට 40 වැනි රන් පදක්කම ලබා දුන්නා.
2021 වසරේ පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අමෙරිකාව සමස්ත රන් පදක්කම් සටනේ චීනය පැරදවූයේ එක පදක්කමකින්. අමෙරිකාව රන් 39ක් දිනා ගත් අතර චීනය රන් 38ක් හිමිකර ගත්තා. කෙසේ වෙතත්, සමස්ත පදක්කම් සංඛ්‍යාවේදී ඔවුන් පසුගිය ඔලිම්පික් උළෙලේ එකතුව පහසුවෙන්ම අභිබවා ගියා.
මෙවර එය පදක්කම් 126ක් දක්වා වැඩිකර ගැනීමට ඔවුන් සමත් වුනා.
අමෙරිකානුවන් ටෝකියෝ නුවරදී ලබා ගත් සමස්ත පදක්කම් ගණන වූයේ 113ක්. මෙවර එය පදක්කම් 126ක් දක්වා වැඩිකර ගැනීමට ඔවුන් සමත් වුනා.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුළු පදක්කම් එකතුව අතින් අමෙරිකාව හා චීනය ට පසුව තෙවැනි ස්ථානයේ පසුවන්නේ රන් 14ක්, රිදී 22ක් හා ලෝකඩ 29ක් සමග පදක්කම් 65ක් ලබා ගත් එංගලන්තය යි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



