ත්‍රාසජනක ‘ස්ටන්ට්’ ක්‍රියාවකින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ පැරිසියේ සිට ලොස් ඇන්ජලීස් නුවරට බාර දුන්නා.
62 හැවිරිදි හොලිවුඩ් රංගන ශිල්පියා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවති Stade de France ක්‍රීඩාංගණයේ වහලයේ සිට කඹයකින් පිටියට පතිත වූයේ නරඹන්නන් හා සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් විස්මයට පත් කරමින්.
ප්‍රමෝදයට පත්ව සිටි ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටොම්ව උණුසුම් අයුරින් පිළිගනිද්දී අඩි 115ක් උස සිට බිමට පැනීමෙන් කිසිම අපහසුවක් හෝ කලබලයක් ඔහු වෙතින් දිස්වුනේ නැහැ.
ඉක්බිති මෝටර් සයිකලයක් මතට පැනගත් හොලිවුඩ් නළුවා ඔලිම්පික් කොඩිය රැගෙන විනෝද චාරිකාවක් සඳහා ක්‍රීඩාංගණයෙන් පිටව ගියා.

ඉන්පසුව දර්ශනය වූයේ කළින් පටිගත කරනු ලැබූ වීඩියෝවක්. එහිදී අයිෆල් කුළුන වැනි පැරිසියේ සුප්‍රසිද්ධ ස්ථාන පසු කරමින් යන ටොම් ගුවන් තොටුපලකට පැමිණෙනවා.
ගුවන්යානයට ගොඩවීමෙන් පසුව ‘ටොප් ගන්’ – Top Gun - චිත්‍රපටයේ නළුවා ගුවන්යානයේ සිට අහසින් බිමට පැන අවසානයේ ලොස් ඇන්ජලීස් නගරයට ගොබ බහිනවා.
අනතුරුව පෙන්නුම් කරන්නේ ටොම් කෲස් ජනප්‍රිය හොලිවුඩ් ලාංජනය වෙත ඔලිම්පික් ධජය අමාරුවෙන් උඩට ගෙන ගොස් එය අමෙරිකානු මවුන්ටන් පාපැදි ක්‍රීඩිකා Kate Courtney ට බාර දෙන අයුරු.
ඉන්පසු අමෙරිකානුවන් ප්‍රදර්ශනය කළේ තවත් වසර හතරකින් බලාපොරොත්තු විය හැකි දේවල්.

ඔලිම්පික් ධජය ලොස් ඇන්ජලීස් නගරයට බාර දීමේ අවස්ථාවේ කොටසක් වශයෙන් ගායක Billie Eilish, Red Hot Chili Peppers රොක් සංගීත කණ්ඩායම, රැප් ගායකයන් වන Snoop Dogg (පැරිස් ඔලිම්පික් ප්‍රසංගයේ ප්‍රධාන චරිතයක්) හා Dr.Dre යන අමෙරිකානු ශිල්පීන් Venice වෙරළේ ප්‍රසංගයක් ඉදිරිපත් කළා.
අධික වියදම්කාරී පැය තුනක ඉරිදා සමාප්ති උත්සවය ආරම්භ වූයේ ප්‍රංශ ගායිකා Zaho de Sagazan ඉදිරිපත් කළ සමූහගායනයක් සමග 1951 වසරේ තිරගත වූ Under the Paris Sky චිත්‍රපටයේ නමින් ම නිරූපණය කළ ගීත රංගනයෙන්.
ගීතයෙන් පසුව, ප්‍රංශය වෙනුවෙන් රන් පදක්කම් හතරක් දිනා ගත් පිහිනුම් ක්‍රීඩක Leon Marchand කුඩා ගිනිසිළුවක් රැගෙන එනු දිස්වුනා. අනතුරුව දහස් ගණන් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් Stade de France ක්‍රීඩාංගණයට ගලා එන්නට පටන් ගත් අතර ඔවුන් එකට රොක්වෙමින් කරොකෙ සංගීතයකට සහභාගි වුනේ ගෙවුණු සති දෙකේ තරග කිරීමේදී මුහුණ දෙන්නට සිදුවූ පීඩනයෙන් නිදහස් වෙමින්.
සංගීත සන්ධ්‍යාව ආරම්භ වීමෙන් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේදිකාව වටා ඔවුන්ට සිටීමට නියම කර තිබූ ස්ථානවලින් මුදා හරිමින් වේදිකාව සමීපයට එන ලෙසට ඔවුන්ට දැන්වූවා. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඊට වඩා දුර ගියා.
ක්‍රීඩා ලෝලීන්ගේ චියර් කිරීම මධ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහාද්වීප හැඩයට තනා තිබූ වේදිකාව වටා දුවමින් එයට ගොඩවන්න පටන් ගත්තා. එය මේ උත්සවය සංවිධානය කළ පුද්ගලයන් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. වේදිකාවෙන් ඉවත් වන ලෙසට ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් කිහිප වතාවක් ම නිවේදනය කරමින් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියා.
සමහරුන්ට එම නිවේදනය ඇසී ඊට අවනත වුනා. බොහෝ දෙනෙකුට එම ඉල්ලීම ඇසුනත් Phoenix ප්‍රංශ රොක් සංගීත කණ්ඩායම වටකර ගෙන නැටීම වඩාත් විනෝදයක් බවට ඔවුන් තීරණය කළා.
රොක් සංගීත කණ්ඩායමක් වටා රොක්වී තමන්ගේ රටේ කොඩි වනමින් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක ගොඩට තෙරපෙමින්, නටමින්, උඩ පනිමින් සිටියේ විශ්වාස කළ නොහැකි තරමේ චමත්කාරජනක දසුනක් නිර්මාණය කරමින්. සමහර ක්‍රීඩකයන් වේදිකාවෙන් බැස ගිය අතර අනෙක් ක්‍රීඩකයන් වෙනත් පෙදෙස්වලට ගොස් නරඹන්නන් සමග එක්ව නටමින් විනෝද වුනා.

අවසානයේ සංවිධායකයන් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේදිකාවෙන් බිමට ගත් අතර සංගීත ශිල්පීන්ට ඔවුන්ගේ කාර්යය කරගෙන යාමට ඉඩඅවකාශය ලබා දුන්නා.
නමුත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ මැද ස්ථානය එක් මොහොතකදී දිස්වූයේ ක්‍රීඩකයන් විසින් ආක්‍රමණය කළ කලාපයක් ලෙසින්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති සෑම දිනයක සෑම මොහොතක සෑම ස්ථානයක ම පැය විසිහතර පුරාවට ගැවසෙමින් ලොව නන්දෙසින් පැරිසිය ට පැමිණි පුද්ගලයන්ට උදව් උපකාර කළ ස්වේච්ඡා සේවකයන්ට විශේෂ ස්තූතියක් සමාප්ති උත්සවයේදී පිරිනැමුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



