ජීවිතාන්තය දක්වා නොමිලේ ‘බුෆේ’ ආහාර භුක්ති විඳීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් පසුව පෙරළා සියරට පැමිණීමේදී පිලිපීන ජනාධිපති විසින් සැලසුම් කරන ලද වීරයෙකුට ඔබින ජාතික උපහාර පිළිගැනීමක් ලැබූ යූලෝ ට පරිත්‍යාගශීලීන්ගෙන් හිමිවන වරප්‍රසාද එතැනින් නතර වන්නේ නැහැ. ජීවත්ව සිටින තුරු ඇති තරම් බෙදාගෙන අනුභව කළ හැකි නොමිලේ ‘බුෆේ’ කෑම ට අමතරව නිවාඩු නිකේතනයක් ඇතුළු ඩොලර් මිලියනයකට වැඩි මුදල් හා ත්‍යාග යූලෝ ට පිරිනැමීමට පොරොන්දු වී තිබෙනවා.

පිරිමි ජිම්නාස්ටික් floor exercise හා vault ඉසව්වලදී 24 හැවිරිදි කාලොස් යූලෝ වාර්තා කළේ මීට වසර සියයකට පෙර පිලිපීනය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ වීමෙන් පසුව පිලිපීන ක්‍රීඩකයෙකු ලැබූ විශාලතම ජයග්‍රහණය. පිලිපීන බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Nesthy Petecio හා Aira Villegas පැරිසියේදී ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා.

දිළිඳුකම හා නොයෙකුත් ගැටුම්වලින් දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳින රටකට යූලෝගේ මේ ජයග්‍රහණවල ප්‍රමෝදයෙන් ලබා දී තිබෙන්නේ ඉමහත් සහනයක්.
Caloy ලෙසින් මිතුරන් විසින් ආදරයෙන් අමතනු ලබන යූලෝ ඔහුගේ දෙවැනි ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් විට පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකොස් (කණිෂ්ඨ) මෙසේ ප්‍රකාශ කළා.
“ලෝකය පුරා සිටින පිලිපීනුවන් ඔබ වෙනුවෙන් එක්සත්ව ඔබට චියර් කළා. ඔබ ගැන අපට තිබෙන ආඩම්බරය කොපමණද කියා ප්‍රකාශ කරන්න තරම් ප්‍රමාණවත් වචන අපට නැහැ, Caloy. ඔබ පිලිපීනය වෙනුවෙන් එක වතාවක් පමණක් නොව දෙවතාවක්ම රන් දිනා ගත්තා.”

යූලෝ සහ ඔලිම්පික් උළෙලට සහභාගි වූ අනෙක් පිලිපීන ක්‍රීඩකයන් මැනිලා අගනුවරට පැමිණි අවස්ථාවේදී යූලෝගේ නම කෑගසමින් ජනතාව ඔවුන් පිළිගත්තේ ජාතික කොඩි වනමින් හා ක්‍රීඩකයන්ට අතට අත දෙමින්. බොහෝ දෙනා ඔවුන් සමග ‘සෙල්‌ෆි’ ඡායාරූප ගැනීමෙන් පසුව ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හමුවුනා.
ඉන්පසු ඔවුන් Malacanang මාළිගයට ගිය අතර එහිදී මාකොස් පදක්කම් හා මුදල් ත්‍යාග පිරිනමමින් ක්‍රීඩකයන්ට ගෞරව දැක්වූවා.
රජය, විශාල ධනපති ව්‍යාපාරිකයන් සහ මුල් පෙලේ පිලිපීන ආයතන විසින් යූලෝ ට ලබා දෙන බවට පොරොන්දු වූ තට්ටු නිවාසය හා නිවාඩු නිකේතන නිවස ඇතුළු මුදල් හා ත්‍යාගවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියනයකට වැඩියි. පීට්සා, අයිස් ක්‍රීම්, ‘බුෆේ’ ක්‍රමයට සපයන දිවා සහ රාත්‍රී ආහාර ජීවිතාන්තය දක්වා නොමිලේ ලබා දීමට ප්‍රසිද්ධ ආයතන ඉදිරිපත්ව සිටිනවා.
විවිධ බර පංති අටක ශූරතා දිනා ගනිමින් හා දුප්පත්කමේ සිට පොහොසත්කම දක්වා වූ සිය ජීවිත කතාවෙන් ලෝක ප්‍රසිද්ධියට පත් පිලිපීන බොක්සිං පුරාවෘත්තය වන Manny Pacquiao, හෙළි නොකළ ප්‍රමාණයක ත්‍යාග මුදලක් පිරිනමන බවට යූලෝ ට පොරොන්දු වී තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



