The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

විශ්ව ප්‍රනාන්දු: අවධානයට ලක් නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිහඬ ගැලවුම්කරුවා

T

The Leader Desk

August 26, 2024 • 5:51 PM

විශ්ව ප්‍රනාන්දු: අවධානයට ලක් නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිහඬ ගැලවුම්කරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම දායකත්වය ලබා දුන් අවස්ථාවන් රැසක් තිබේ.
  • මීට වසර 05කට පෙර ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවෙකු ද වන මෙම ක්‍රීඩකයා බොහෝවිට මාධ්‍යවල කතාබහට ලක්වන්නේ අවම වශයෙනි.
  • ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වසර 08ක් පුරාවට නිහඬ සේවයක් ලබා දෙන ඔහු නමින් විශ්ව ප්‍රනාන්දු ය.
  • පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව පිතිකරුවෙකු වශයෙන් ද, විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙවර කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):
තම දායකත්වය ලබා දුන් අවස්ථාවන් රැසක් තිබේ.

මීට වසර 05කට පෙර ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවෙකු ද වන මෙම ක්‍රීඩකයා බොහෝවිට මාධ්‍යවල කතාබහට ලක්වන්නේ අවම වශයෙනි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වසර 08ක් පුරාවට නිහඬ සේවයක් ලබා දෙන ඔහු නමින් විශ්ව ප්‍රනාන්දු ය.

පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව පිතිකරුවෙකු වශයෙන් ද, විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙවර කුමක් ද? මේ බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි.
 
 
විශ්ව ප්‍රනාන්දු යනු කවුද?
 
1991 වසරේ සැප්තැම්බර් මස 18 වන දා කොළඹදී උපත ලැබූ මුතුතන්ත්‍රීගේ විශ්ව තිලිණ ප්‍රනාන්දු අධ්‍යාපනය ලැබුවේ, මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙනි.

පාසල් සමයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ විශ්ව, 2012 වසරේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු තම මංගල පළමු පෙළ තරගාවලියේදී ම කඩුලු 26ක් දවා ගැනීමට සමත් විය.

පළමු පෙළ තරග 117කට ක්‍රීඩා කර ඇති විශ්ව ප්‍රනාන්දු එහිදී ඉනිම් 192කදී කඩුලු 318ක් දවා ගෙන ඇත.

පළමු පෙළ තරගවලදී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ, ලකුණු 88කට කඩුලු 09ක් දවා ගැනීම ය.

එමෙන් ම, පළමු පෙළ ක්‍රීඩා සමාජ එක්දින තරග 54කට ක්‍රීඩා කර ඇති විශ්ව ප්‍රනාන්දු ඉනිම් 52කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 68කි. එහිදී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලකුණු 04කට කඩුලු 03ක් ලෙස සටහන් වේ.
 
set435විශ්ව තම මංගල ටෙස්ට් තරගයේ යැවූ පළමු පන්දු වාරයේදී ම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ
ජෝ බර්න්ස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය


පළමු පන්දු වාරයේදී ම දවා ගත් ටෙස්ට් කඩුල්ල
 
වසර තුනකට ආසන්න කාලයක් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු, 2015 වසරේදී ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්දින පුහුණු තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ සංචිතයට නම් කරනු ලැබී ය.

මෙම කාලයේදී ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි වේගපන්දු යවන්නන් සංඛ්‍යාව බහුල වීම හේතුවෙන් විශ්ව ප්‍රනාන්දුට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමට කාලයක් බලා සිටීමට සිදුවිය.

පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට විශ්ව ප්‍රනාන්දුට අවස්ථාව හිමි වූයේ, 2016 වසරේ අගෝස්තු මස 04 වන දා ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු, තමන් යැවු පළමු පන්දු වාරයේදී ම ජෝ බර්න්ස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.


විශ්වට සුවිශේෂී වූ තරගාවලිය
 
2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට විශ්ව ප්‍රනාන්දු ද ඇතුළත් කෙරිණි.
 
තරග දෙකකින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී තරගාවලියක් විය.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේදී ම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබු පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම හේතුවෙනි.
මෙම තරගාවලියේදී විශ්ව ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 12ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ලොව දක්ෂතම පිතිකරුවෙකු වූ හෂීම් අම්ලාව පළමු වරට ටෙස්ට් තරගයකදී ලකුණු රැස් කිරීමට පෙර දවා ගත් යවන්නා බවට පත්වීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.

එම තරගාවලියේදී විශ්වගේ පන්දු යැවීමේ දක්ෂතා කෙරෙහි ක්‍රිකට් විස්තර විචාරකයින් මෙන් ම ක්‍රීඩා ලෝලීන්ගේ ද අවධානය යොමු විය.

මේ දක්වා ටෙස්ට් තරග 24කට ක්‍රීඩා කර ඇති විශ්ව ප්‍රනාන්දු ඉනිම් 41කදී කඩුලු 66ක් දවා ගැනීමට සමත්ව ඇති අතර ඔහුගේ ඉනිමක හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ, 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් ලකුණු 101කට කඩුලු 05ක් දවා ගැනීම ය.
kjer435
 

ලෝක වාර්තා අතරට ගිය ඉනිම
 
දකුණු අප්‍රිකාවට එරෙහිව 2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්බන්හිදී වාර්තා කළ ටෙස්ට් තරග ජයග්‍රහණයේදී කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 153 ගැන බොහෝ දෙනා කතා කරති.

ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු ගොඩනැගූ හොඳ ම ටෙස්ට් ඉනිම් අතරට කුසල් ජනිත්ගේ එම ඉනිම ඇතුළත් වී තිබේ.

නමුත්, එම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කඩුල්ල පමණක් අතැතිව ලකුණු 78ක් අවශ්‍යව තිබියදී සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් සඳහා දායකත්වය දැක්වූ අනෙක් පිතිකරුවා වූයේ විශ්ව ප්‍රනාන්දු ය.

මිනිත්තු 73ක් පුරාවට පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 06ක් රැස් කළ විශ්ව ප්‍රනාන්දුට එදා සිදු වූයේ, ඩේල් ස්ටේන්, වර්නන් ෆීලෙන්ඩර්, කගිසෝ රබාඩා වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් කුසල් ජනිත් පෙරේරාට සහය දීමට ය.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරීමට සමත් විය.

එහිදී, කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු අතර අවසන් කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 78ක සබඳතාව ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු හඹා ගොස් ලද ජයග්‍රහණයකදී 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම සබඳතාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

j34i23
 

විශ්වගේ පිතිකරණ දක්ෂතා මොනවා ද?
 
ටෙස්ට් තරග 24කදී ඉනිම් 34ක් තුළ ලකුණු 151ක් රැස් කර ගෙන ඇති විශ්ව ප්‍රනාන්දු නොදැවී සිටි අවස්ථා ගණන 16කි.

විශ්ව ප්‍රනාන්දු සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 38 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2020 වසරේදී රැස් කිරීමට සමත් විය.
ඊට අමතරව, ඔහු 2022 වසරේ බංගලාදේශ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 17ක් රැස් කළේ ය.

ඉකුත් වසරේ පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ද විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 21ක් රැස් කිරීමට සමත් විය.

එමෙන් ම, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී විශ්ව පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පන්දු 62 කදී ලකුණු 13ක් රැස් කිරීමට සමත් විය.

එහිදී, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ 09 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

එම සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුණු 200 සීමාව ඉක්මවා යාමට හැකි විය.

පන්දු යවන්නෙකුගේ භූමිකාවට පමණක් සීමා නොවී පිතිකරුවෙකු ලෙස විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ අග පෙළ පිතිකරණයට යම් විශ්වසනීයත්වයක් ගෙන දීමට සමත්ව තිබේ.

විශ්ව ප්‍රනාන්දුගේ සහෝදරයා වන නුවනිඳු ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින සහ විස්සයි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගත් ක්‍රීඩකයෙකි.

(දිනුක් හේවාවිතාරණ)
BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...