The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසිලන්තය දැවැන්ත පරාජයක් අභියස

T

The Leader Desk

September 28, 2024 • 4:07 PM

නවසිලන්තය දැවැන්ත පරාජයක් අභියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවැනි ටෙස්ට් ගැටුමේ අද තෙවැනි දිනය අවසන් වන විට ලකුණු 199කට කඩුලු 5ක් අහිමි කර ගෙන දැවැන්ත පරාජයක් අභියසට පැමිණ සිටියා.
  • ආලෝකය මඳ වීම හේතුවෙන් අද පස්වරු 3.39 ට ක්‍රීඩාව නතර වූ අතර ඉන්පසුව ඇද හැළුනු වර්ෂාවත් සමග තෙවැනි දින තරගය අවසන් වුනා.
  • සවස තේ පානය වන විට නවසිලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 129කට බිඳ වැටී තිබුනු අතර තේ පානයෙන් පසුව ක්‍රීඩා කෙරුනේ ඔ්වර 11ක් පමණයි.
  • ගාලු තණතීරුවේ අද කඩුලු 13ක් ලකුණු 265කට බිඳ වැටීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවැනි ටෙස්ට් ගැටුමේ අද තෙවැනි දිනය අවසන් වන විට ලකුණු 199කට කඩුලු 5ක් අහිමි කර ගෙන දැවැන්ත පරාජයක් අභියසට පැමිණ සිටියා.

ආලෝකය මඳ වීම හේතුවෙන් අද පස්වරු 3.39 ට ක්‍රීඩාව නතර වූ අතර ඉන්පසුව ඇද හැළුනු වර්ෂාවත් සමග තෙවැනි දින තරගය අවසන් වුනා. සවස තේ පානය වන විට නවසිලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 129කට බිඳ වැටී තිබුනු අතර තේ පානයෙන් පසුව ක්‍රීඩා කෙරුනේ ඔ්වර 11ක් පමණයි.

ගාලු තණතීරුවේ අද කඩුලු 13ක් ලකුණු 265කට බිඳ වැටීම විශේෂත්වයක්. මේ කඩුලු සියල්ලම ලබා ගත්තේ දඟ පන්දු යවන්නන්.

ZXDTW45

අද තරගය නතර කරන විට ටොම් බ්ලන්ඩල් ලකුණු 47ක් (පන්දු 50, හතරේ 4, හයේ 2) ද, ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 32ක් (පන්දු 41, හයේ 2) ද රැස්කර ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. මේ දෙදෙනාගේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳි සබඳතාව පන්දු 84කින් ලකුණු 78ක් වී තිබුනා.

දෙවැනි ඉනිමේදී නිශාන් පීරිස් ලකුණු 91කට කඩුලු 3ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 76කට එක් කඩුල්ලක් ද, ධනංජය ද සිල්වා ලකුණු 17කට එක් කඩුල්ලක් ද ලබා ගෙන තිබුනා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී වාර්තා කළ කඩුලු 5 ට ලකුණු 602 ට පිළිතුරු වශයෙන් ලකුණු 88ක් පමණක් ලබා ගැනීම හේතුවෙන් පිට පිට දෙවැනි වතාවටත් ලකුණු රැස් කිරීමට සිදුවූ නවසිලන්ත කණ්ඩායමට පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද පීරිස් හා ජයසූරියගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරයන්ට ගොදුරු වීමට සිදුවුනා.

නවසිලන්ත පළමු ඉනිම පැවතියේ මිනිත්තු 154ක කාලයක් පමණයි. මේ කාලය තුළ ඔවුන් මුහුණ දුන්නේ ඔ්වර 39යි පන්දු 5කටයි.

Y4RTY@GATTY IMAGES

නවසිලන්ත දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩෙවොන් කොන්වේ සහ කේන් විලියම්සන් ගොඩනගා ගෙන පැමිණි ලකුණු 97ක (පන්දු 108) සබඳතාව බිඳ දැමුවේ ධනංජය. ඔහුගේ පන්දුවට කොන්වේ දුන් උඩ පන්දුව චන්දිමාල් ‘එක්ස්ට්‍රා කවර්’ ස්ථානයේ සිට පසුපසට දිව යමින් අල්ලා ගත්තේ දර්ශනීය අයුරින්. කොන්වේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමග පන්දු 62කින් ලකුණු 61ක් රැස් කළා.

දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල පළමු ඔ්වරයේ අවසන් පන්දුවේදී මුළු ලකුණු බින්දුවට බිඳ වැටෙමින් ටොම් ලේතම් (0) දැවී ගියේ පීිරිස්ගේ පන්දුවට ‘ෂෝට් ලෙග්’ හි පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඉන්පසු පීරිස් විසින් මුළු ලකුණු 110දී කේන් විලියම්සන් දවාලනු ලැබුවා. පන්දු 58කට මුහුණ දුන් විලියම්සන් හතරේ පහර 4ක් සමග ලකුණු 46ක් රැස් කළා. එම උඩ පන්දුව රැක ගත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පන්දු රැකීමට පැමිණ සිටි රමේෂ් මෙන්ඩිස්.

ඩැරිල් මිචල් (1) ද නිස්සංක අතට උඩ පන්දුවක් ලබා දෙමින් ජයසූරියගේ පන්දුවට මුළු ලකුණු 113දී දැවී ගිය අතර පස්වැනි කඩුල්ල ලෙස රචින් රවින්ද්‍ර අන්දමන්ද වෙමින් දැවී ගියේ නිශාන් පීරිස්ගේ අලංකාර පිට දඟ පන්දුවකින්. මුළු ලකුණු 121යි.

ප්‍රභාත් ජයසූරිය හා නිශාන් පීරිස්ගේ ප්‍රබල දඟ පන්දු ප්‍රහාරය හමු‌වේ ඉතාමත් අසරණ වූ නවසිලන්තය අද උදය වරුවේ කඩුලු 9ක් අහිමි කර ගත්තා.

පළමු ඉනිමේ කඩුලු 2 ට ලකුණු 22 සිට අද තරගය ආරම්භ කළ නවසිලන්ත කණ්ඩායමේ ඉතිරි කඩලු 8 ලකුණු 66කට ඔ්වර 25යි පන්දු 5ක් ඇතුළත දැවී යාමෙන් පසුව නැවත පන්දුවට පහර දීමට සිදුවූ නවසිලන්ත කණ්ඩායමේ තවත් කඩුල්ලක් මිනිත්තු හයක් ඇතුළත දැවී ගිය අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසිලන්තය ඔවුන්ගේ දෙවැනි ඉනිමේ කඩුල්ලක් දැවී ලකුණු 3ක් රැස්කර ගෙන සිටියා.

තරගයේ සම්පූර්ණයෙන් ම ආධිපත්‍ය පැතිරවූයේ ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය යි. ප්‍රභාත් ජයසූරිය ඔ්වර 18ක් යවමින් ලකුණු 42කට කඩුලු 6ක් බිඳ හෙලූ අතර සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ඔ්වර 17යි පන්දු 5ක් ඇතුළත ලකුණු 33කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

දිවා ආහාරයට පෙර බිඳ වැටුනු කඩුල්ල ලබා ගත්තේ ද පීරිස්.

DF56

නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ අංක 9 පිතිකරු මිචල් සැන්ට්න. පන්දු 51කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 29ක් රැස් කළා.

රචින් රවින්ද්‍රගේ කඩුල්ල බිඳ දමමින් සිය මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර ගත් නිශාන් පීරිස් ඔහුගේ ඊළඟ ඔ්වරයේදී අජාස් පටෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දෙවැනි කඩුල්ල ලබා ගත්තා. මිචල් සැන්ට්න දැවී ගියේ ද පීරිස්ගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන්.

ප්‍රභාත් ජයසූරියගේ දඟ පන්දුවලට පළමු ඉනිමේ ගොදුරු වූ පිතිකරුවන් වූයේ කේන් විලියම්සන් (7), ඩැරිල් මිචල් (13), ටොම් බ්ලන්ඩල් (1), ග්ලෙන් ෆිලිප්ස් (0) හා ටිම් සවුතී (2).

ධනංජය ද සිල්වා ‘ස්ලිප්’ ස්ථානයේ සිට උඩ පන්දු පහක් රැක ගැනීමට සමත් වුනා.

XDGT46
හෙට සිවු වැනි දින තරගය මිනිත්තු 15කට කළින් එනම් පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතයි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නවසිලන්තය දැවැන්ත පරාජයක් අභියස | The Leader