30 හැවිරිදි මේ පුද්ගලයා තායිලන්තයේදී ඔහු සහභාගි වූ පළමු ‘මූයි තායි’ තරගයේදී ම ජීවිතක්ෂයට පත්වීම විශේෂත්වයක්. මේ තරගය පවත්වා තිබෙන්නේ ජනප්‍රිය සංචාරක දූපතක් වන Koh Samui හි තිබෙන Samui ජාත්‍යන්තර මූයි තායි ක්‍රීඩාංගණයේ.
එරට වේලාවෙන් රාත්‍රී 9.30 ට ආරම්භ වූ තරගය තෙවැනි වටයේදී නතර කිරීමට තරග විනිසුරුට සිදුවුනා. ඊට හේතුව වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඉළ ඇට කූඩුවේ දකුණු පැත්තට දරුණු පා පහරක් වැදීම.
තරග වළල්ලෙන් පිටව යාමට හැකිවූ ඔහු සිය ග්ලව්ස් ද ඉවත් කර ගත්ත ද, අතේ වෙළා තිබූ බැන්ඩේජ ගලවමින් සිටියදී හදිසියේම අසනීප වී තිබෙනවා.

පේශීන් තදට ඇදීමකින් වේදනා විඳිමින් සිටි ඔහුට හුස්ම ගැනීම අපහසු වී ඇස් කරකැවෙන්නට පටන් ගත් බව සිද්ධිය දුටු අය පවසා තිබෙනවා.
තවමත් සිහි ඇතිව සිටි ඔහු ටික වේලාවකට පසුව හදවතේ ක්‍රියාකාරිත්වය නතර වෙමින් බිම ඇද වැටුනු බව වාර්තා වනවා.
හදිසි ප්‍රථමාධාර සේවාව පැමිණ බ්‍රිතාන්‍ය තරගකරුවා එම ස්ථානයේ සිට සැතැපුම් දෙකකට අඩු දුරකින් පිහිටි තායි ජාත්‍යන්තර රෝහල වෙත රැගෙන යනතෙක් ඔහුගේ පුහුණුකරු විසින් හදිසි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. එහෙත් වෛද්‍ය උත්සාහයන් තිබියදීත් රාත්‍රී 11.00 ට ඔහු මිය ගොස් තිබෙනවා.

රෝහලේදී මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙන අතර ප්‍රදේශීය තායි පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
‘අවයව අටේ සටන් කලාව’ හෝ ‘තායි බොක්සිං’ ලෙසින් ද හැඳින්වෙන ‘මූයි තායි’ සටන්වලදී ප්‍රතිවාදියා පරාජය කිරීම පිණිස මුෂ්ඨිය, පාද, වැලමිට සහ දණහිසින් පහළ කකුලේ ඉදිරිපස පාවිච්චි කරනවා. ‘කික්බොක්සිං’ ආකාරයේ සටන් කලාවක් වන මෙය වසර ගණනාවක සිට ගෝලීය ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබෙනවා.
1560 වසරේ Naresuan රජු යටතේ හමුදා පුහුණුවට ‘මූයි තායි’ තෝරා ගැනීම දක්වා ඈතට මේ පුරාතන සටන් කලාව තායි සංස්කෘතියේ මුල් බැස තිබෙනවා.

සම්ප්‍රදායික ලණුවලින් වෙළන ලද ඇඟිලි පුරුක් ඇට කලක් ග්ලව්ස් වෙනුවට භාවිතා කළ අතර මෙයින් බොහෝ මරණ සිදුවීම නිසා 1990 ගණන්වලදී මේ සටන්වලට මෘදු ද්‍රව්‍යවලින් පිරවූ ග්ලව්ස් යොදා ගැනීමට බල කෙරුනා.
තායිලන්තයේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙන ක්‍රීඩාවක් බවට පත්ව තිබුන ද, ‘මූයි තායි’ භයානක ක්‍රීඩාවක් ලෙසින් අපකීර්තිමත්ව රැඳී පවතින අතර මේ සටන්වලදී මාරක විපත් බොහොමයක් අතීතයේ සිදුව තිබෙනවා.

‘මූයි තායි’ තායිලන්තයේ ජාතික ක්‍රීඩාව යි. මෑතක සිට, මේ සටන් ක්‍රීඩාව ඉගෙන ගැනීම පිණිස විදේශිකයන් රොද බැඳගෙන තායිලන්තය ට පැමිණෙමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ‘මූයි තායි’ සටන් කලාව විශේෂත්වය කරගත් සංචාරක නිකේතන බුරුතු පිටින් බිහිව තිබෙන්නේ වැඩිවෙමින් තිබෙන ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම පිණිස.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



