අලුත්ම වෛද්‍ය වාර්තාවක් අනාවරණය කරනවා.
ලෝක පූජිත දඟ පන්දු යවන්නෙකු වූ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් Koh Samui දූපතේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හටගත් ප්‍රබල හෘදයාබාධයකින් 2022 මාර්තු මාසයේදී මිය ගියේ 52 වැනි වියේ පසුවෙමින් සිටියදී.
ඔහු ප්‍රතිචාරයක් නොදක්වන බවට මිතුරෙකු විසින් සොයාගෙන තිබෙන්නේ රාත්‍රියකට පවුම් 2,000ක් අයකරන ඔහුගේ හෝටල කාමරයේ සිට සම්බාහන කෙල්ලන් දෙදෙනෙකු පිටවන අයුරු CCTV කැමරාවලින් දර්ශනය වී පැයකට පසුව.
පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් වෝන්ගේ කාමරයේ තිබී සොයා ගත් ‘කාමාඝ්‍ර’ රහසින් එතැනින් ඉවත් කළ බවට අලුත් වාර්තාවකින් ප්‍රකාශ වීමෙන් පසුව ෂේන් වෝන්ගේ ඛේදනීය මරණයේ කතාව පසුගිය සතිඅන්තයේදී නැවත සිරස්තල බවට පත්වුනා.

නම හෙළි නොකළ පොලිස් නිලධාරියෙක් එංගලන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බලකිරීම මත ‘කාමාඝ්‍ර’ නමැති ඉන්දියාවේ නිෂ්පාදිත මත්ද්‍රව්‍ය බෝතලය වෝන්ගේ මරණයෙන් පැය කිහිපයක් ඇතුළත කාමරයෙන් ඉවත් කළ බව කියා තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය පිළිබඳව පොලිස් වාර්තාවේ සඳහන් කර නැහැ.
“ඒ බෝතලය ඉවත් කරන ලෙසට අපේ ජ්‍යෙෂ්ඨයන් අපට නියෝග කළා. මේ නියෝග පැමිණෙමින් තිබුනේ ඉතා ඉහළින්. මේකට ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනුත් සම්බන්ධයි කියලා මම හිතනවා. මොකද, ඔවුන්ගේ ජාතික වීරයෙකුට මේ වගේ අවසානයක් සිදුවනවා දකින්න ඔවුන්ට උවමනා වුනේ නැති නිසා” යනුවෙන් එම පොලිස් නිලධාරියා පවසා තිබෙනවා.
වෝන්, බ්‍රිතාන්‍ය නිළියක වන ලිස් හර්ලී (Liz Hurley) සමග තිබූ සරාගී ප්‍රේම සම්බන්ධයේදී ‘ව්‍යාඝ්‍ර’ පාවිච්චි කළ බවට ඔහු විවෘතව කියා සිටි බවත් ඒ පිළිබඳව ඔහු කිසිවිටකත් ලජ්ජා නොවූ බවත් තවත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මේ සතියේ සඳහන් කර තිබෙනවා. මේ දෙදෙනා 2010 සිට 2013 දක්වා පෙම් යුවලක්ව සිටියා.

දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වන විට වෝන්ගේ වයස අවුරුදු 41ක්ව තිබූ අතර හර්ලී ඔහුට වඩා අවුරුදු හතරක් වැඩිමල්ව සිටියා.
‘ව්‍යාඝ්‍ර’ මාදිලියේ මත්ද්‍රව්‍ය දෙකක් සහ ලිංගික සංසර්ගයේ යෙදිය හැකි කාලය වැඩිකිරීමේ තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ මරණයෙන් පසුව කාමරයේ තිබී වෛද්‍ය සේවකයන් විසින් සොයා ගත් බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
කාම ශක්තිය වැඩිකරන මේ බලවත් ලිංගික මත්ද්‍රව්‍ය මිශ්‍රණය හමුවී තිබෙන්නේ වෝන් Koh Samui දූපතේ සිට තායිලන්ත ජාත්‍යන්තර රෝහල වෙත ප්‍රවාහනය කළ වෛද්‍ය සේවකයන්ට.
වෝන්ගේ මරණයෙන් තෙවසරකට වැඩි කාලයකට පසුව මතුව තිබෙන මේ වෛද්‍ය වාර්තාවේ ‘බෙහෙත්’ යන මාතෘකාව යටතේ මත්ද්‍රව්‍ය තුනක් ලැයිස්තු ගත කර තිබෙනවා.
Viagra වෙළඳ ලාංජනය යටතේ අලෙවි කෙරෙන සිල්ඩනැෆල් (Sildenafil), කුඩා ජෙලි පැකැට්ටුවලින් එන ‘ව්‍යාඝ්‍ර’ ආකාරයේ Kamagra සහ ඩෙපොක්සිටීන් (Dapoxetine) නමැති පෙත්ත මේ ‘බෙහෙත්’වලට ඇතුළත්ව තිබෙනවා.
‘කාමාඝ්‍ර’ තායිලන්තයේ නීතිවිරෝධී වූව ද, මේ නියාමනය නොකරණ මත්ද්‍රව්‍යය ඕනෑම ෆාමසියකින් කුඩා පැකැට්ටුවකට පවුම් 7 බැගින් වන සුළු මුදලකට පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
බෙහෙත් වට්ටෝරුවක් හරහා නිත්‍යානුකූල වන ‘ව්‍යාඝ්‍ර’ සහ ‘ඩෙපොක්සිටීන්’ යන මත්ද්‍රව්‍ය කළු කඩයෙන් ද පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.
වෝන් මේ ලිංගික සංසර්ගය වර්ධනය කරන මත්ද්‍රව්‍ය භාවිතා කළේ ඔහුගේ මරණයට පෙර ද යන්න තවමත් පැහැදිලි නැහැ.

නමුත් මේ සුපිරි ක්‍රීඩා තරුවට හදවතේ සෞඛ්‍ය ගැටළු තිබූ බව ප්‍රකට කරුණක් වූ අතර රුධිරය පොම්ප කරන මෙවැනි ප්‍රබල මත්ද්‍රව්‍ය මිශ්‍රණයක් මගින් ඔහුගේ හදවතට ඉතා භයානක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ තිබුනා. මේ මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ හදවත් රෝගීන්ට අනතුරු හඟවන පණිවුඩයක් ද සමග.
තායිලන්තයේ පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු කෙරුනේ වෝන් මිය ගියේ ස්වාභාවික හේතුන් නිසා බව. ඔහු උපතේ සිට පැවතෙන හදවතේ දුබලතාවකින් වේදනා විඳි බව ද එම පරීක්ෂණයෙන් ස්ථිරව සොයා ගෙන තිබුනා. සාපරාධි ක්‍රියාවක් ගැන එම වාර්තාවෙන් කියැවුනේ නැහැ.
ෂේන් වෝන්ගේ මරණයෙන් ක්‍රීඩා ලෝකය අන්දමන්ද වෙද්දී, මසාජ් කෙල්ලන් දෙදෙනෙක් ඔහුගේ කාමරයෙන් පිටව යන CCTV දර්ශන සමග වැඩි විස්තර එළිදරවු වුනා. මේ තරුණියන් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරුන ද ඔවුන්ට එරෙහිව වැඩිදුර ක්‍රියාවන් සිදුකෙරුනේ නැහැ.
මිය යාමට වසර දහයක පෙර සිට වෝන් ‘ව්‍යාඝ්‍ර’ පාවිච්චි කළ බව දැන් හෙළි වී තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



