ක්‍රීඩකයා හෙට්කෝ ගෑන්චෙෆ් (Petko Ganchev). කණ්ඩායම ආර්දා කාජේලායි (Arda Kardzhali).
Levski Sofia කණ්ඩායම සමග පසුගිය මාසයේ පැවති තරගය ආරම්භ වීමට පෙර ආර්දා ක්‍රීඩකයන් ශෝක වූයේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ගෑන්චෙෆ් මිය ගොස් ඇති බවට වැරදියට විශ්වාස කරගෙන. තරග බිමේ මැද කවය මත පේළියට සිටගත් දෙපිලේ ක්‍රීඩකයන් හිස නමා ශෝකය පළ කළා.

කෙසේ වෙතත්, ඒ තරගය අවසන් වීමට පෙර, ‘ආර්දා කාජේලායි’ සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබමින් තමන්ට ලැබුනේ ගෑන්චෙෆ් මිය ගිය බවට වැරදි තොරතුරු බවත් 78 හැවිරිදි ඔහු ඉතා හොඳින් ජීවත් වන බවත් ප්‍රකාශ කළා.
ආර්දා කණ්ඩායම ඊයේ Cherno More කණ්ඩායම ගෝල් 4-0කින් පරාජය කළ තරගයේ ආරම්භයට පෙර ගෑන්චෙෆ් ‘ලෙජන්ඩ්’ කෙනෙක් ලෙස හඳුන්වමින් ඔහුගේ නම සඳහන් ජර්සියක් ඔහුට ප්‍රදානය කෙරුණා.
“තරගයට පෙර හෙට්කෝ ගෑන්චෙෆ් පැමිණ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හමුවුනා. එහිදී අධ්‍යක්ෂවරයා ඔහුට ජුබිලි ජර්සිය පිරිනැමුවා. ගෑන්චෙෆ් අනෙකුත් ආර්දා ප්‍රවීණයන් සමග තරගය නැරඹුවා” යනුවෙන් එම ක්‍රීඩා සමාජය ප්‍රකාශ කළා.

“අපි නැවත වරක් හෙට්කෝ ගෑන්චෙෆ්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.”
ආර්දා විසින් වැරදීමකින් තමාගේ මරණය නිවේදනය කරන විට තමා නිවස බලා කාරය පදවමින් සිටි බැවින් නිවසට ඇතුළු වූ සැණින් මිතුරන්ට හා පවුලේ අයට තමා යහතින් සිටින බවට නැවත සහතික කිරීමට සිදුවූ බව ගෑන්චෙෆ් කියා තිබුණා.

“ඒ නරක පුවත ඇහුවාම, මම බ්‍රැන්ඩි ටිකක් වීදුරුවට දාගත්තා” යනුවෙන් ගෑන්චෙෆ් Blitz නමැති බල්ගේරියානු වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණා.
“ඇත්ත ට ම, පණපිටින් වළ දැමීම මානසික පීඩාවක්” යනුවෙන් ඔහු එදා පවසා තිබුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත :
හිටපු පාපන්දු ක්‍රීඩකයා බ්‍රැන්ඩි බොමින් තමාගේ මරණය සමරයි



