හෙල්ල විසිකිරීමේ තරග වාරයේ මේ ගෙවෙන්නේ ආරම්භය පමණක් වූව ද මේ දක්වා වැඩිම දුර හෙල්ල විසි කර තිබෙන ක්‍රීඩකයන් අතර සිටීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. ඉන්දියාවේ නීරාජ් චොප්රා සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් ආසන්නතම ඔලිම්පික් රන් පදක්කම් දිනා ගෙන සිටියදී ශ්‍රී ලංකාව ද ඉදිරියට පැමිණෙමින් සිටීම විශේෂ සිදුවීමක්.
ගෙවී ගිය මාර්තු මාසයේදී රණසිංහ මීටර් 85.78ක් ද, පතිරණගේ මීටර් 85.41ක් ද දුරක් ද සටහන් කරමින් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලබා ගෙන සිටිනවා. පළමු ස්ථානයේ සිටින්නේ මාර්තු 28 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නුවරදී මීටර් 87.76 දුරක් හෙල්ල විසි කළ අමෙරිකාවේ 29 හැවිරිදි කර්ටිස් තොම්සන්.

ඔස්ට්‍රේලියාවේ පුහුණු සංචාරයක නියැලෙමින් සිටියදී පතිරණගේ පර්ත් ක්ලැසික් තරගාවලියේදී නොවෙනස්ව දස්කම් දක්වමින් ක්‍රීඩා වාරය මුලදී කෙටි කලක් පෙරමුණට පිවිස සිටියා.
The Sidelines නමැති X ගිණුම සඳහන් කරන පරිදි, 23 හැවිරිදි රුමේෂ් පතිරණගේ මීටර් 85 බාධකය බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකිකයා වනවා.
එම සමාජ මාධ්‍ය ගිණුවේ මෙසේ ද සඳහන්:
“වයස අවුරුදු 16දී ඔහු පැයට කිලෝමීටර් 130ක වේගයක් පෙන්නුම් කරමින් නැගී එන වේග පන්දු යවන්නන් සඳහා පැවති ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ තරගාවලියේ දෙවැනි ස්ථානය පවා දිනා ගත්තේ වර්තමානයේ ඉන්දියා ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරන එක් වේග පන්දු යවන්නෙකුට පමණක් දෙවැනි වෙමින්. නමුත් ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න හෙල්ල විසි කිරීමේ තරග බිමේ වඩාත් සාර්ථක අනාගතයක් රුමේෂ්ගෙන් දුටුවා.”
ආසියානු විසි කිරීමේ ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීම සඳහා මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කිරීම රුමේෂ්ගේ ක්‍රීඩා දිවියේ හොඳම දක්ෂතාව ලෙස සටහන්ව තිබෙනවා.
හොරණ ශ්‍රී පාලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ රුමේෂ් කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළා. ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු මලල ක්‍රීඩාවේ ද යෙදුනේ හෙල්ල සහ කවපෙත්ත විසි කරමින්.

ඔහුට වයස අවුරුදු 16දී පැවති වේග පන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුමකදී, අවුරුදු 18න් පහළ අංශයේ පැයට කිලෝමීටර් 134ක වේගයක් පෙන්නුම් කළ රුමේෂ් දෙවැනි වූයේ සන්රයිසර්ස් හයාදරාබාද් කණ්ඩායම වෙනුවෙන් IPL ක්‍රීඩා කරමින් සිටින එෂාන් මාලිංග ට පමණ යි. කෙසේ වෙතත්, පුහුණුකරු ටෝනි, ඒ වන විට කණිෂ්ඨ ජෝන් ටාබට් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ හොඳින් තරග කරමින් සිටි රුමේෂ්ව එම ඉසව්ව වෙනුවෙන් විශේෂයෙන් අවධානය යොමු කරන ලෙසට පොලඹවා ගත්තා. සාන්ත පීතර විදුහලට මාරු වූ රුමේෂ් එහිදී අවුරුදු 20න් පහළ වාර්තාලාභියා බවට පත්ව ලෝක කණිෂ්ඨ ශූරතාවලියට ගියා.
ආසියානු විසි කිරීමේ ශූරතාවලියේ රුමේෂ්ගේ මීටර් 85.45 රන් දක්ෂතාවෙන්, ඔහුට වඩා අවුරුදු දහයක් වයසින් වැඩි පළපුරදු ක්‍රීඩක සුමේධ රණසිංහ උසුලාගෙන සිටි ජාතික වාර්තාව බිඳී ගියා. කෙසේ වෙතත් රුමේෂ් ට ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස සෙන්ටිමීටර් පහක් අඩුවුනා.
ඔස්ට්‍රේලියාවේ පුහුණු සංචාරයක යෙදී සිටින රුමේෂ් හෙල්ල විසි කිරීමේ තරග වාරයේ වර්තමානයේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා.

යුද හමුදාවේ සේවය කරන 34 හැවිරිදි සුමේධ රණසිංහ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවා. ඔහු මාර්තු 9 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මීටර් 85.78ක දක්ෂතාවක් මගින් රුමේෂ්ගෙන් ජාතික වාර්තාව නැවත උදුරා ගත්තා. හය වතාවක ජාතික ශූරයෙක් වන සුමේධ දැන්, මාර්තු 1 වැනිදා පර්ත් නුවර බටහිර ඔස්ට්‍රේලියානු ජවන හා පිටිය ක්‍රීඩාංගණයේදී රුමේෂ් දැක්වූ මීටර් 85.41ක දක්ෂතාව හරහා ඔහුගේ යළි නැඟී සිටීමක් දකිමින් සිටිනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



