“සහජ දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් යාපනයේ ඉන්නවා. ඒ නිසා, යාපනයේ මේ පහසුකම ඉදිකරන්න අපට උදව් කරන්න පුළුවන්ද කියලා මම ඉන්දියා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඔහුගේ කණ්ඩායම සමග මේ ගැන සාකච්ඡා කර ඉක්මනින්ම නියත වශයෙන් අපට නැවත කතා කරන බව ඔහු කීවා” යනුවෙන් ජයසූරිය ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියා අගමැතිවරයා සමග ඉරිදා පැවති සාකච්ඡාවට සනත් ජයසූරිය ට අමතරව 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වන අරවින්ද ද සිල්වා, චමින්ද වාස් හා මාවන් අතපත්තු ඇතුළු තවත් කිහිප දෙනෙක් සහභාගි වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සමසත්කාරකත්වය ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ට ද ලබා දීමෙන් පසුව ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ උත්සාහයක යෙදී සිටිනවා. එහෙත් ශ්‍රී ලංකාව තවමත් ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින බැවින් එය තම රට ට පමණක් කිරීම අපහසු බව ජයසූරිය පිළිගන්නවා.
“අපට එය කරන්න අමාරුයි. රටක් විදියට, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විදියට, ඒක හරිම අමාරුයි. අපි ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. අපි යාපනයේ පළාත් පුහුණුකරුවන්, දිස්ත්‍රික් පුහුණුකරුවන් පත්කර තිබෙනවා. ඒ නිසා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ පාසල් යාපනයේ තිබෙනවා.
ක්‍රිකට් සංස්කෘතියක් එහි තියෙනවා. නමුත් ඒක ඊළඟ මට්ටමට ගෙන යන්න, අපි මීට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සම්බන්ධ විය යුතුයි. ඉදිරියෙන්ම අපට අවශ්‍ය වෙන්නේ ඉන්දියාවේ සහයෝගය” ජයසූරිය කියනවා.
මුත්තයියා මුරලිදරන් ඇතුළු ද්‍රවිඩ ජාතිකයන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුන ද, වර්තමානයේ යාපනයෙන් ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පළමු පෙල ක්‍රිකට් පද්ධතියේ දක්නට නැහැ.
යාපනයට ක්‍රීඩා යටිතල පහසුකම් අවශ්‍ය වීමට හේතුව විස්තර කරමින් ජයසූරිය මෙසේ සඳහන් කර තිබෙනවා. “අපට දකුණේ කොළඹ, හම්බන්තොට, දඹුල්ල හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තියෙනවා. නමුත් උතුරේ නැහැ. අපි වසර 30ක පමණ දීර්ඝ යුද්ධයක පැටලී සිටියා. එය දැන් වෙනස් වෙලා උතුර හා දකුණ සම්බන්ධ කරන්න ජනතාවට අවශ්‍යයි. ක්‍රීඩාව හරහා තමයි ඒක කරන්න පුළුවන් හොඳම ක්‍රමය. අපි බොහෝ දේ කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් යාපනයේ ඉදිකරන්න අපට හැකිවුනොත්, එමගින් ජනතාව තව තවත් ළංවේවි. ඔවුන්ව අතහැර දමා ඇතැයි යන හැඟීමක් ඔවුන්ට දැනෙන්නේ නැතිවේවි.”

“ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් යාපනයේ ඉදිවීමට කාලය දැන් ඇවිත් තියෙනවා. මොකද, එහි සිටින්නේ ක්‍රීඩාවට අධික උනන්දුවක් දක්වන ජනතාවක් නිසා. සියලු ශ්‍රී ලාංකිකයන් වගේම ඔවුන් ද ක්‍රීඩාවට ආදරය කරන පිරිසක්. ඒ නිසා අප ඔවුන්ටද ඒ අවස්ථාව ලබා දිය යුතුයි. මම මේ මාතෘකාවට මුල පිරුවේ ඒ නිසයි. එය ක්‍රියාත්මක වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. අතීතයේදී, මම ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට තල්ලු කිරීම පිණිස කටයුතු කර තිබෙනවා. නමුත් මම කවදාවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා කටයුතු කර නැහැ. මේක තමයි පළමු අවස්ථාව. යාපනයට එවැනි ක්‍රීඩාංගණයක් තිබිය යුතු බව මම සිතනවා. ඒ වෙනුවෙන් මම පිටිය සකස් කළා!” යනුවෙන් සනත් ජයසූරිය වැඩිදුරටත් කියා තිබෙනවා.
මීට පෙර, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම පිණිස චීනය ශ්‍රී ලංකාව ට උපකාර කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



