ප්‍රංශයේ Toulouse සහ එංගලන්තයේ Sale කණ්ඩායම් අතර ඉරිදා පැවති යුරෝපීය රග්බි ශූරතා තරගයට පෙර උත්සවයේ කොටසක් වූ එම තරගය සඳහා භාවිතා කරන පන්දුව ගුවනින් රැගෙන ඒමේ ක්‍රියාවලියට මේ පැරෂුට්කරුවා ද සහභාගි වුනා.
කෙසේ වෙතත්, ඔහුගේ අනෙක් පැරෂුට් සගයන් ආරක්ෂිතව පිටියේ ගොඩබැසීමෙන් පසුව මේ අවාසනාවන්ත පැරෂුට්කරුවා ඔහුගේ කාර්යය අවසන් කළේ තරගය මිනිත්තු 40ක් ප්‍රමාද කරමින්.
ප්‍රංශ හමුදා පැරෂුට්කරුවෙකු බවට වාර්තා වන මේ පුද්ගලයා ඔහුගේ සගයින් අනුගමනය කරමින් වේගයෙන් ක්‍රීඩාංගණය වෙත පහළට එමින් සිටින අයුරු දිස්වූව ද, බිම පතිත වීමට පෙර වහලේදී ඔහු මේ අකරතැබ්බයට පත්ව තිබෙනවා.
පැරෂුටය වහලේ පැටලී ක්‍රීඩා මණ්ඩපයට ඉහළින් ඔහු එල්ලී වැනෙමින් සිටියදී ක්‍රීඩාංගණයේ නිලධාරීන් මෙන්ම Toulouse කණ්ඩායම සංකේතවත් කරන සිංහයෙකුගේ ඇඳුම පැළඳ සිටි පුද්ගලයා ද වහාම එතැනට දිව ගියේ අසල තිබී සොයාගත් සුළං පිරවිය හැකි දේ උපයෝගී කරගෙන හදිස්සියෙන් බිම පතිත වීමට සරිලන තාවකාලික පැදුරක් ඔහු වෙනුවෙන් නිර්මාණය කිරීම පිණිස.
අවසානයේ, ගිනි නිවන භටයින් පැරෂුට්කරුවාට සමීප වෙමින් Stadium de Toulouse ක්‍රීඩාංගණයේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ඔහුව දොඹකරයකින් ආරක්ෂිතව යළි බිමට ගෙන එන අයුරු වීඩියෝවකින් දර්ශනය වුනා.
මේ අත්දැකීමෙන් එම පැරෂුට්කරුවාට තුවාල සිදුවී නැති බව සඳහන්.
යුරෝපීය රග්බි ශූරතා කුසලාන තරගාවලිය සංවිධානය කරන යුරෝපීය වෘත්තීය අන්තර් සමාජ රග්බි ආයතනයේ (EPCR) සභාපති Dominic McKay සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින්, පැරෂුට්කරුවා ආරක්ෂිතව නැවත බිමට ගෙන ඒමට උපකාර කළ හදිසි අවස්ථා සේවා භටයින් හා ක්‍රීඩා සමාජ දෙක ඇතුළු ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනාට ඔහුගේ අවංක ස්තූතිය පුද කළා.
Toulouse ලකුණු 38-15කින් තරගය ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



