පාපන්දු ක්‍රීඩාවට තිබෙන උන්වහන්සේගේ ආශාව ලෝකය දැනගත්‌තේ 2013 වසරේදී ඔහුව ලතින් අමෙරිකාවේ පළමු පාප් වහන්සේ ලෙස තෝරා ගත් සැණින් ආජන්ටිනා පාපන්දු සමාජයක් වන ‘සැන් ලොරේන්සෝ’ (San Lorenzo) ඔවුන්ගේ කණ්ඩායමේ ලාංජනය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අල්ලාගෙන සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කළ අවස්ථාවේ. එම සමාජයේ හැඳුනුම් පතක් පවා ලබා ගෙන සිටි ඔහුගේ අංකය වූයේ 88,235.
සැන් ලොරේන්සෝ කණ්ඩායම හඳුන්වනු ලබන්නේ ‘ශාන්තුවරයෝ’ - The Saints - යන අන්වර්ත නාමයෙන්.
“ඔහු සැමවිටම අපේ කෙනෙකුව සිටියා” යනුවෙන් සැන් ලොරේන්සෝ පාපන්දු ක්‍රීඩා සමාජය ගෞරව පිදීමේ සටහනක් ‘ඉන්ස්ටග්‍රෑම්’ හි තැබුවේ ඔවුන්ගේ 1946 ශූරයින්ගේ කණ්ඩායමේ ක්‍රීඩාව ෆ්‍රැන්සිස් ළමයෙකුව සිට නැරඹූ අයුරු මතක් කරමින්.

2013 වසරේ මාර්තු මාසයේදී 266 වැනි පාප් වහන්සේ ලෙස ෆ්‍රැන්සිස් තෝරා ගැනීමෙන් පසුව සැන් ලොරේන්සෝ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. 2013 වසරේදී ජාතික ශූරතාවක් දිනා ගත් එම කණ්ඩායම ඊට වසරකට පසුව ප්‍රථම වතාවට Copa Libertadores කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා. තමන්ට දුන් සහයෝගය වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට ස්තූතිය පළ කිරීම පිණිස ක්‍රීඩා සමාජයේ නිලධාරීන් දෙවතාවක් ම කුසලාන රැගෙන වතිකානුවට ගියා.
අලුතින් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන සැන් ලොරේන්සෝ ක්‍රීඩාංගණය නම් කරනු ඇත්තේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නමින්.
ඉතාලියේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහාය දැක්වූයේ යූවෙන්චස් (Juventus) කණ්ඩායමට බව පැවසෙනවා. උන්වහන්සේගේ පවුල එම ක්‍රීඩා සමාජය පිහිටි පීඩ්මොන්ට් කලාපයෙන් පැමිණීමයි ඊට හේතුව. ෆ්‍රැන්සිස්ගේ පාප් වහන්සේගේ පියා Mario Bergoglio බාස්කට්බෝල් ක්‍රීඩකයෙකුව සිටියා.
පාප් වහන්සේ ලෙස ෆ්‍රැන්සිස් ඔහුගේ රටවැසි පාපන්දු පුරාවෘත්ත ක්‍රීඩක ඩිඒගෝ මැරඩෝනා දෙවතාවක් මුණගැසී තිබුණා. 2014 වසරේ පැවති අරමුදල් රැස්කිරීමේ පාපන්දු තරගයකදී පාප් වහන්සේට මැරඩෝනා පාපන්දු කමිසයක් පිළිගැන්වූ අතර ෆ්‍රැන්සිස් නම ස්පාඤ්ඤ භාෂාවෙන් උච්චාරණය කරණ ෆ්‍රැන්සිස්කෝ (Francisco) නම සහ මැරඩෝනාගේ අංකය වූ 10 එම කමිසයේ මතුවී සිටින සේ මුද්‍රණය කර තිබුණා.
“ඔහු තරුවක් බව අපි සියලු දෙනාම දැන් අවබෝධ කරගෙන ඉන්නවා” යනුවෙන් මැරඩෝනා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග 2015දී පැවති තවත් හමුවකින් පසුව කියා සිටියා. “මම ෆ්‍රැන්සිස්ගේ හොඳම ලෝලියා යි.”
මැරඩෝනා 2020 වසරේ මිය ගිය අවස්ථාවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගේ යාච්ඤාවලදී මැරඩෝනාව මතක් කළා.
“වෙනස්, ළං විය හැකි, ආජන්ටිනා පාප් වහන්සේ කෙනෙක්” යනුවෙන් තවත් ආජන්ටිනා පාපන්දු තරුවක් වන ලයනල් මෙසී ‘ඉන්ස්ටග්‍රෑම්’ වේදිකාවෙන් ප්‍රකාශ කළා. “ලෝකය වඩාත් හොඳ ස්ථානයක් කළාට ඔබට ස්තූතියි. ඔබ නැති අඩුව අපට දැනේවි.”
යුරෝපීය පාපන්දු ශූරතාව වාර්තාගත 15 වතාවක් දිනා ගත් රේආල් මෙඩ්රිඩ් (Real Madrid) ක්‍රීඩා සමාජය ද ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පණිවුඩයක් තබමින් ශෝකය පළ කළා.

පාප් වහන්සේ තනතුරට තෝරා ගැනීමෙන් ටික කලකට පසුව ආජන්ටිනා සහ ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායම් සමග පැවති හමුවකදී, විශේෂයෙන් තරුණයන් කෙරෙහි ක්‍රීඩකයන්ට තිබෙන බලපෑම පෙන්වා දුන් උන්වහන්සේ, “හොඳට හෝ නරකට” ඔවුන් ආදර්ශයක් බව මතක තබා ගන්නා ලෙසට ක්‍රීඩකයන්ට දන්වා සිටියා. “ආදරණීය ක්‍රීඩකයිනි, ඔබලා ඉතාම ජනප්‍රියයි. පිටියේ පමණක් නොව ඉන් පිටතදීත් ජනතාව ඔබව අනුගමනය කරනවා. ඒ නිසා එය සමාජමය වගකීමක්” යනුවෙන් උන්වහන්සේ දන්වා සිටියා.
ක්‍රීඩාව විශේෂයෙන් තරුණ පරපුර අතර සහයෝගිතාව හා අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීමේ මාර්ගයක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතරම පිළිගත්තා.
විශ්වාසය හා ක්‍රීඩාව පිළිබඳව 2016 වසරේ පැවති සම්මන්ත්‍රණයකදී, ක්‍රීඩා පිටියෙන් දූෂණය ඈත් කිරීම පිණිස මීට වඩා හොඳ කාර්යයක් ඉටු කරන ලෙස රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ක්‍රීඩාව තමන්ගේ වාසියට යොදා ගැනීමෙන් හා අයුතු වාණිජමය ප්‍රයෝජන ලබා ගැනීමෙන් ආරක්ෂා කළ යුතු බව පැවසුවා.
“උතුම් කෙනෙකුට පමණක් කළ හැකි පරිදි තමන්ගේ කාලය තුළ දීප්තිමත්ව සිටි විශේෂ පාප් වහන්සේ කෙනෙකි ෆ්‍රැන්සිස්” යනුවෙන් පාප් වහන්සේ අවස්ථා ගණනාවක මුණගැසුනු හිටපු ඉතාලි පාපන්දු නායක Gianluigi Buffon ඉන්ස්ටග්‍රෑම්වලින් කියා සිටියා. “විශිෂ්ට ධෛර්යයකින් අපට මාර්ගය පෙන්වා දුන් ඔහු අපේ ආත්මයන් මෙහෙයවූවා. මම හැමදාටම ඔහුගේ උදාහරණය මගේ හදවතේ රඳවා ගෙන ඉන්නවා.”
“මුළු පාපන්දු ලෝකයම ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා” යනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සඳහන් කළා.
“අපට නැතිවෙන්නේ ඔලිම්පික් ව්‍යාපාරයේ විශිෂ්ට මිතුරෙක් හා ආධාරකරුවෙක්” ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාහ් ප්‍රකාශ කළා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා ස්වර්ගස්ථ වීමෙන් පසුව ඉතාලියේ හා ආජන්ටිනාවේ ඉහළම මට්ටමේ පාපන්දු තරග කල්දැමුනා. බදාදා ට කල්දැමුනු ඉතාලි Serie A තරග හතරක් ද මේ අතර තිබුණා.
එසේම, ආජන්ටිනාවේ ප්‍රධානතම ලීග් පාපන්දු තරග තුනක් ද දිනකට කල්ගියා. මේ තරග නැවත ආරම්භ වූයේ පාප් වහන්සේ ලෙස තෝරා ගැනීමට පෙර බුවනොස් අයිරස් අගනගරයේ අගරදගුරුතුමන්ව සිටි උන්වහන්සේ වෙනුවෙන් ශෝකය දැක්වීමෙන් පසුව.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



