සහ වී.වී.එස්. ලක්ස්මන් ට ඔවුන්ගේ ප්‍රභාව අහිමි වූ අතර ඊට පසුව වැඩි කලක් යන්නට පෙර දෙදෙනා ම ක්‍රීඩාවෙන් සමුගත්තා. සාර්ථක ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගමාලාවක් නොලැබෙමින් සචින් ටෙන්ඩුල්කාර්ගේ ප්‍රභාව ද යම් තරමකින් අඩුවූ අතර එතැන් සිට ඔහු ටෙස්ට් තරග බිමෙන් ඉවත් වීම දක්වා වැඩි කාලයක් ගතවුනේ නැහැ.
දැන් පැමිණ තිබෙන්නේ රෝහිත් ෂර්මාගේ වාරය. මේ වසර මුල පැවති බියජනක ඔස්ට්‍රේලියානු සංචාරයෙන් නොනැසී පැවතීමට අසමත් වූ ඔහු ඉන්දියා ටෙස්ට් නායකත්වය සඳහා වෙනත් කෙනෙකු පත්කිරීමට තේරීම් නිලධාරීන් තීරණය කිරීමෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔහු දිගටම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග (ODI) ක්‍රීඩා කරනවා.
ෂර්මාගේ ටෙස්ට් සමුගැනීම පැමිණෙන්නේ ළඟ එන එංගලන්තයේ ටෙස්ට් තරගමාලාව සඳහා 38 හැවිරිදි ඔහුව ඉන්දියා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන බවට ඉන්දියා මාධ්‍ය විසින් බදාදා වාර්තා කිරීමෙන් පසුව.

“සුදු ඇඳුමෙන් මගේ රට නියෝජනය කරන්න ලැබීම මට මහා ලොකු ගෞරවයක්” යනුවෙන් ෂර්මා තමන්ගේ ටෙස්ට් කැප් තොප්පියේ පිංතූරයක් ද සමග ‘ඉන්ස්ටග්‍රැම්’ හි පෝස්ට් කළා. “වසර ගණනාවක් තිස්සේ මට දැක්වූ සියලු ආදරය හා සහයෝගයට ස්තූතියි!”
මාර්තු මාසයේදී චැම්පියන්ස් කුසලානය ජයග්‍රහණය කළ ෂර්මා ඉදිරියටත් ODI ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඒ තරග බිමේ ඉන්දියානු නායකයා ලෙස සිටීමටයි නියමිතව තිබෙන්නේ. 2024 T20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර විස්සයි20 තරග බිමෙන් සමුගත්තා.
ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා 2022 වසරේ විරාට් කෝලිගේ තැනට පත්වීමෙන් පසුව ඉන්දියාවේ නායකයා ලෙස කටයුතු කළා. ඔහු නායකයා වශයෙන් සිටි ටෙස්ට් තරග 24න් අඩක් ජය ගත් අතර 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගයට පිවිසියා. එහිදී ඉන්දියාව ඔස්ට්‍රේලියාව ට පරාජය වුනා.

පසුගිය වසරේදී ෂර්මා වසර 12කට පසුව මව්බිමේදී ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් පරාජය (නවසිලන්තයට හමුවේ 3-0) සහ ‘බෝඩර්-ගවස්කාර්’ කුසලානයේදී ඔස්ට්‍රේලියාව වෙතින් 3-1ක පරාජයේ නීරස අත්වින්දා. ඔහුගේ දිගින් දිගටම දුර්වල වූ පිතිකරණය හේතුවෙන් සිඩ්නි හි පැවති එම තරගමාලාවේ පස්වැනි ටෙස්ට් තරගයට ඔහුව නම් කෙරුනේ නැහැ.
ශතක 12ක් සමග 40.57ක සාමාන්‍යයකින් යුතුව ටෙස්ට් ලකුණු 4,301ක් වාර්තා කිරීමෙන් පසුවයි මේ මනබඳන දකුණත් පිතිකරුවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබෙන්නේ 2019 වසරේ දකුණු අප්‍රිකාව ට එරෙහිව රන්චි හි දී පන්දු 255කින් පමණක් ලබා ගත් ලකුණු 212.
2024 මාර්තුවේ ධර්මසාලා හි දී එංගලන්තය ට එරෙහිව ලකුණු 103ක් ලබා ගනිමින් තමන්ගේ අන්තිම ශතකය වාර්තා කිරීමෙන් පසුව ඉනිම 15කදී එක් අර්ධ ශතකයක් පමණයි ෂර්මා ලබා ගෙන තිබුනේ.

රවිචන්ද්‍රන් අශ්වින් ට පසුවයි රෝහිත් ෂර්මා විශ්‍රාම යන්නේ. රවින්ද්‍ර ජඩේජා ට දැන් වයස අවුරුදු 36ක්. රත්තරං පරම්පරාවක් අවසානයට යමින් සිටිනවා. තමාගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා යුගය අවසන් බවට විරාට් කෝලි ද තීරණය කරනු ඇත්තේ කවදාද?

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



