ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) තරගාවලියක ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමෙන් තරගාවලි චක්‍රයකට රුපියල් කෝටි 168ක් බැගින් පාකිස්තානය ට අහිමි වීමට ඉඩ තිබෙනවා. එක් තරගාවලියක් වෙනුවෙන් ඩොලර් මිලියන15 සිට ඩොලර් මිලියන 20 දක්වා සාමාන්‍යයකින් යුත් මුදලක් ඔවුන්ට නැතිවෙනවා.
කාශ්මීරයේ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතභේදයක් අවුස්සමින් බංග්ලාදේශයේ වත්මන් රජය සමග සමීපව කටයුතු කරන බංග්ලාදේශයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්, ඉන්දියාවෙන් පාකිස්තානය ට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත බංග්ලාදේශය විසින් බලෙන් අල්ලා ගත යුතු බව කියා සිටියා.
මේ හේතුවෙන් යම් හෙයකින් ඉන්දියා කණ්ඩායම බංග්ලාදේශය ද වර්ජනය කළහොත් එරට ට සිදුවන්නේ ද දැරිය නොහැකි පාඩුවක්. ඉන්දියා කණ්ඩායම අවසන් වතාවට තම රටේ කළ සංචාරයේදී බංග්ලාදේශය රුපියල් කෝටි 80ක මුදලක් උපයා ගත්තා.

ඉන්දියාව සමග ද්විපාර්ශ්වික තරග ක්‍රීඩා නොකිරීමෙන් බංග්ලාදේශය ට තරගමාලාවකට රුපියල් කෝටි 100ක් බැගින් අහිමි වනවා.
ICC තරගාවලියන්හි ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමෙන් බංග්ලාදේශය ට අහිමි වන මුදල රුපියල් කෝටි 130ක් බවයි මාධ්‍ය වාර්තාවලින් දැක්වෙන්නේ.
මේ අතර වසර 2024 සිට 2027 දක්වා වන තරග විස්තර ප්‍රචාරයෙන් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම වසරකට රුපියල් කෝටි 1900ක් බැගින් ICCයෙන් උපයා ගැනීමට නියමිත බව ද සඳහන්.
ඉන්දියාව සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් පාකිස්තාන ක්‍රීඩකයන්ට ලොකු පාඩුවක්
මේ අතර, ඉන්දු-පාකිස්තාන යුද උණුසුම මධ්‍යයේ ඉන්දියා රජය විසින් ෂොයිබ් අක්තාර් සහ බාබර් අසාම් ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ සමාජ මාධ්‍ය වේදිකා අවහිර කිරීමෙන් පසුව එම ක්‍රීඩකයන්ට විශාල පාඩුවක් විඳීමට සිදුව තිබෙන බව වාර්තා වනවා.
පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ගේ යූටියුබ් නාලිකාවට මිලියන 3.8කට වැඩි අනුගාමිකයන් සිටින අතර මෙයින් අතිවිශාල ප්‍රමාණය ඉන්දියාවෙන්.
අක්තාර්ගේ යූටියුබ් නාලිකාවෙන් ඔහු සතියකට රුපියල් 80,000කට වැඩි මුදලක් උපයා ගන්නා බැවින් ඉන්දියා රජයේ තහනමෙන් ඔහුගේ ඉපැයීම්වලට එල්ල වන්නේ මරු පහරක්.
හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක බසිට් අලිගේ යූටියුබ් නාලිකාව ද අවහිර කර තිබෙනවා. ඔහුට ලක්ෂ දෙකකට ආසන්න අනුගාමිකයන් සිටින අතර මින් වැඩි දෙනා ඉන්දියානුවන්.
විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා පිළිබඳ සාකච්ඡාවලින් බසිට් අලි views විශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. යූටියුබයෙන් මුදල් උපයා ගැනීම මත යැපෙන නිර්මාණකරුවන්ට ඉන්දියානු බැලීම අහිමි වීම යනු දැන්වීම් ආදායමේ සිදුවන විශාල අඩුවීමක්.

පාකිස්තාන ක්‍රිකට් නායක මොහමඩ් රිස්වාන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ද ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා. රිස්වාන් ට මිලියන 1.7ක අනුගාමිකයන් සිටින අතර ඔහුගේ වේග පන්දු යවන්නකු වන, අනුගාමිකයන් මිලියන 2.6ක් සිටින ෂහීන් ෂා අෆ්රිඩිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ද අවහිර කර තිබෙනවා.
හිටපු පාකිස්තාන නායක බාබර් අසාම් ට ද ඉන්දියාවේ සිටින ඔහුගේ අනුගාමිකයින් අහිමි වී තිබෙනවා. බාබර් ට ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් මිලියන 5.7ක් සිටිනවා.
ඉන්දියාවෙන් අනුගාමිකයන් නැතිවීම නිසා බාබර් අසාම් වෙනුවෙන් වන අනුග්‍රාහකයන්ගේ පෝස්ට්වලින් ලැබෙන දැන්වීම් ආදායමේ සිදුවන්නේ සැලකිය යුතු පහත වැටීමක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



