ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එලිෆන්ට් හවුස් සමාගම අතර මේ හවුලෙන් එක්කරනු ලබන්නේ ගෙදර දොරේ නිතර කියැවෙන නම් දෙකක්. ‘ක්‍රිකට්’ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන අතර ‘එලිෆන්ට් හවුස්’ යනු පරම්පරා ගණනාවක් තිස්සේ අමතක නොවන රසයක් ගෙන ආ බීමක්.
මේ සුවිශේෂී හවුල්කාරිත්වයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ දිවයිනේ පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර තරගවල නිල සහ එකම බීම අලෙවිකරු වීමේ අයිතිය එලිෆන්ට් හවුස් සමාගමට ලැබෙනවා. ක්‍රිකට් ලෝලී නරඹන්නන්ගෙන් පිරුනු ක්‍රීඩාංගණ මණ්ඩපවල සිට ක්‍රීඩකයන්ගේ අගුළු කුටි සහිත කාමර සහ VIP කුටි දක්වා වන ක්‍රිකට් අත්දැකීමේ පූර්ණ කොටසක් බවට ශරීරය ප්‍රාණවත් කරන මේ එලිෆන්ට් හවුස් බීම පත්වනවා.

එලිෆන්ට් හවුස් සමාගම හා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අතර තිබෙන්නේ අද ඊයේ ඇතිවූ බැඳීමක් නෙවෙයි. මේ සමාගම විසින් මීට පෙර ද පාසල් මට්ටමේ තරගාවලියන් සංවිධානය කිරීමට සහ ග්‍රාමීය ක්‍රිකට් දියුණු කිරීමට විශාල මෙහෙයක් ඉටුකර තිබෙනවා. එලිෆන්ට් හවුස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇතිකර ගත් මේ උපාය මාර්ගික සහයෝගීතාව මගින් ක්‍රීඩාංගණවල දැන්වීම් පුවරු, ඩිජිටල් මාධ්‍ය සහ පිටියේ ක්‍රියාකාරකම් හරහා පුළුල් නිරාවරණයක් සිදුවනු ඇත්තේ එලිෆන්ට් හවුස් සන්නාමය තව තවත් ජනතාව අතරට ගෙන යමින්. මීට අමතරව, රසික ආකර්ෂණය වැඩිකර ගැනීම පිණිස ක්‍රිකට් ක්‍රීඩකයින් ද සහභාගි කරවා ගනිමින් විවිධ වැඩසටහන් රැසක් දියත් කිරීමට නියමිතව තිබෙනවා.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් - එලිෆන්ට් හවුස්’ හවුල පිළිබඳ මාධ්‍ය හමුව කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ ඊයේ පැවති අවස්ථාවේ අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමාගමේ පාරිභෝගික අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීමට හැකිවීම පිළිබඳව සමාගමක් ලෙස ආඩම්බරයට පත්වන බව කියා සිටියා. “මේ අනුග්‍රාහක දායකත්වය දෘශ්‍යතාව ගැන පමණක් නෙවෙයි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ආශාව, ආඩම්බරය හා අවශ්‍යම මොහොතේදී ක්‍රිකට් ලෝලීන් එකට සමීප කිරීමක් ද වනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කතා කරමින්, මේ හවුල වෙනුවෙන් එලිෆන්ට් හවුස් ආයතනය සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළා. “මෙය වැදගත් සබඳතාවක් ලෙස අපි සලකනවා. මෙවැනි හවුල්කාරිත්වයන් මගින් අපට අපේ ක්‍රිකට් ගමන සඳහා ලැබෙන්නේ ලොකු සහයෝගයක්.
එලිෆන්ට් හවුස් බීම සන්නාමය අපේක්ෂා කරන ප්‍රතිඵලය මේ සබඳතාවෙන් ලැබෙනු ඇති බව අපට විශ්වාසයි” යනුවෙන් ඒ මහතා තවදුරටත් පැවසුවා.
එලිෆන්ට් හවුස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ජූඩි මාටිනෝ මහතා සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා, ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංක හා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද මේ අවස්ථාවට සහභාගි වුනා.
2027 වර්ෂයේ මාර්තු 31 වැනි දින දක්වා වලංගු මේ සබඳතාව හරහා ආරම්භ වන්නේ එලිෆන්ට් හවුස් ආයතනයේ නව ඉනිමක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



