ඉක්බිති ඒ සියල්ල පසුගිය ජනවාරියේදී නැතිකර ගත්තේ පැසිෆික් පැලිසේඩ්ස් (Pacific Palisades) හි ඔහු කුලියට ජීවත් වෙමින් සිටි නිවස ගින්නට හසුවීම නිසා.
එහෙත් හෝල් ට දැන් ඔහුගේ පදක්කම් සියල්ල එනම් රන් පදක්කම් 5, රිදී පදක්කම් 3 සහ ලෝකඩ පදක්කම් 2 නැවත ලැබී තිබෙනවා. ඒ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාහ් සඳුදා ස්විට්සලන්තයේ ලෝසාන් නුවර පිහිටි ඔලිම්පික් නිවහනේදී හෝල් ට එම පදක්කම්වල ආකෘති ප්‍රදානය කළ බැවින්.
හෝල් ඔහුගේ පදක්කම් තබාගෙන සිටියේ ඔහුගේ නිදන කාමරයේ තිබූ ගින්නට ඔරොත්තු දෙන සේප්පුවක. “ඒ සේප්පුවේ සහතිකය මම ආපහු පරීක්ෂා කරන්න ඕන. මොකද, ඒක පැහැදිලිවම ගින්නට ඔරොත්තු දුන්නේ නැහැ” යනුවෙන් හෝල් පවසනවා. සමාජයේ පෙනී සිටිමින් සහභාගි වන සාකච්ඡාවලදී ළමයින් හා උත්සාහවන්ත ක්‍රීඩකයින් තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට පමණයි ඔහු එම පදක්කම් සේප්පුවෙන් එළියට ගත්තේ.
දැවැන්ත ලැව්ගිනි ජනවාරි 7 වැනිදා ඔහු සිටි පෙදෙස වසා ගනිද්දී ආරක්ෂාව පතා තම සහෝදරියගේ නිවසට පලා යාමට පෙර එම පදක්කම් බේරා ගැනීමට හෝල් ට හැකිවුනේ නැහැ. සති කිහිපයකට පසුව, තම නිවස තිබූ ස්ථානයට පැමිණි හෝල් ට ගල් කැබලි අතර තිබූ සේප්පුව හමුවුනා. එය විවෘත කිරීමට හෝල් ට හැකිවූව ද ඇතුළේ තිබූ දේවල් දැකීමෙන් ඔහු කලකිරුනා.

“ඒ සේප්වුව ඇතුළේ තිබුනේ උණු වී දියවුනු ලෝහය - අත්ඔරලෝසු, ස්වර්ණාභරණ, කමිස අත් අමුණන බොත්තම් සහ ඔලිම්පික් පදක්කම්වල සංයෝජනයක්” හෝල් කියා සිටියා. “එය සියලු දේවල් එකට එකතු වුනු ලොකු බින්දුවක්. එකට උණුවී තිබුනු පදක්කම්-භාග ගලවා ගන්න මට පුළුවන් වුනා. මම ඒවා සභාපති තොමස් බාහ් ට දුන්නා. එය බාරගැනීම නිහතමානීව ප්‍රතික්ෂේප කළ ඔහු එය මගේ ළඟ තබා ගත යුතු බව කීවා.”

හෝල් වැඩිදුරටත් මෙසේ කියා සිටියා: “පැහැදිලිව පෙනුනු තවත් රිදී පදක්කමක් තිබුණා. ඒක දිහා බැලුවම එය ඔලිම්පික් පදක්කමක් කියන්න පුළුවන්. ඒක ලෝසාන් ඔලිම්පික් කෞතුකාගාරයට පරිත්‍යාග කරන්නයි මගේ කල්පනාව.”
මේ සියල්ලට අමතරව, ලැව්ගින්න නිසා හෝල් ට ‘පිහිනන මුහුදු වඳුරෝ’ (Sea Monkeys Swimming) නමැති ඔහුගේ පිහිනුම් පාඩම් ව්‍යාපාරය ද අහිමි වුනා. මෙය ඔහු පවත්වා ගෙන ගියේ ඔහුගේ නිවසේ තිබූ පිහිනුම් තටාකයේ. ඔහු දැන් පිහිනීම සඳහා වන ක්‍රීඩා ඔට්ටු අල්ලන වේදිකාවක් දියත් කිරීමට උත්සාහ කරමින් සිටින අතර එයින් ලැබෙන මුදලින් නැවත තම ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිනවා.
ලැව්ගින්නෙන් ඇතිවූ තත්ත්වයේ තිබෙන රිදී රේඛාව වන්නේ තමාට අලුත් පදක්කම් ලැබුනු මොහොතේ තමාගේ 17 හැවිරිදි පුත් චාලි ට තමා ළඟ සිටීමට හැකිවීම බව හෝල් සඳහන් කරනවා. “මොකද, මම මගේ පළමු පදක්කම් දිනා ගන්නවා දකින්න එයාට ලැබුනේ නැහැ.”
“මේ අත්දැකීම එයත් එක්ක බෙදා ගන්න ලැබීම මට ලෝකයක් වටිනවා.”
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:
ගින්නෙන් විනාශ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට ගැරී හෝල් ට අලුත් පදක්කම්
ලොස් ඇන්ජලීස් ලැව්ගින්නෙන් පිහිනුම් ශූරයාගේ ඔලිම්පික් පදක්කම් 10 ම පිළිස්සෙයි



