රුසියාව 2022 වසරේ යුක්රේනය ආක්‍රමණ කිරීමෙන් පසුව ජගත් පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සම්මේලනය සියලුම ජාත්‍යන්තර තරග රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමට තහනම් කළා.
වර්තමාන නීතිවලට අනුව, රුසියාව ට අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්න බැහැ.

මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග 2023 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූයේ සත්කාරක රටවල් තුනට අමතරව ස්ථාන 45කට කණ්ඩායම් තෝරා ගැනීමටයි.
තම පරිපාලනය යටතේ පිහිටුවූ 2026 ලෝක කුසලාන කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමේ කතා කරමින් ට්‍රම්ප් කියා සිටියේ තරගාවලිය සඳහා රුසියාව නැවත ඇතුළත් කර ගැනීමෙන් යුක්රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමට මං විවර වනු ඇති බවයි.
ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට යාබදව අසුන් ගෙන සිටි ට්‍රම්ප්, රුසියාව ට මේ තරගාවලිය තහනම් කර තිබෙන බවක් දැන සිටියේ නැහැ.
“මම ඒක දන්නේ නැහැ. ඒක එහෙමද?” යනුවෙන් ට්‍රම්ප් ඇසුවා.
“ඒක හරි” ඉන්ෆන්ටීනෝ කීවා.
“පාපන්දු ක්‍රීඩා කිරීම ඔවුන්ට දැනට තහනම් කර තිබෙනවා. නමුත් මොනවා හරි සිද්ධ වෙලා සාමය ඇතිවීමෙන් පසුව රුසියාව නැවත ඇතුළත් කිරීමට හැකිවේවි කියා අපි ප්‍රාර්ථනා කරනවා.”
එවිට ට්‍රම්ප් මෙසේ පැවසුවා: “ඒක කරන්න පුළුවන්. ඒක හොඳ දිරිගැන්වීමක් වේවි, එහෙම නේද?”
“අපට උවමනා කරන්නේ ඔවුන් යුද්ධය නතර කරනවා දකින්නයි. සතියකට තරුණ පුද්ගලයන් පන්දහසක් මරා දැමෙනවා. ඒක විශ්වාස කරන්නවත් බැහැ.”
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට රුසියාවේ සහභාගිත්වය පිළිබඳව කතා කරන විට ‘බොස්’ බවට පත්වන්නේ ඉන්ෆන්ටීනෝ යැයි කී ට්‍රම්ප් රුසියාව නැවත තරගාවලියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන කිසිම ක්‍රියාවලියකදී තමාට කළ හැකි දෙයක් නැතැයි සඳහන් කළා.
කෙසේ වෙතත්, යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාව ට ක්‍රීඩා තහංචි පනවා තිබෙන බව මේ රැස්වීමට සහභාගි වනතුරුම අමෙරිකානු ජනාධිපතිවරයා නොදැන සිටීම පැහැදිලිවම විස්මයට කරුණක්.
“ඔබ එන්න...හැබැයි ආපහු යන්න!”
මේ අතර මේ රැස්වීමේදී ජනාධිපති ට්‍රම්ප් ට අනෙක් පසෙන් අසුන්ගෙන සිටි අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී.වෑන්ස් කතා කරමින්, ලෝක කුසලාන තරගාවලිය අරබයා දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා.
තරගාවලිය සඳහා ලෝකයේ හතර වටෙන් පැමිණෙන ක්‍රීඩා ලෝලීන් සාදරයෙන් පිළිගැනීමට අමෙරිකාව සූදානමින් සිටිය ද ඔවුන් තරගවලින් පසුව ආපසු ඔවුන්ගේ රටවලට යා යුතු බව වෑන්ස් අවධාරණය කළා.
තරගාවලියේ තරග 104න් අවසාන මහා තරගය ඇතුළුව තරග 78ක් ම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාවේ.
අමෙරිකාවේ තිබෙන දැඩි ආගමන ප්‍රතිපත්ති සහ ගෝලීය දේශපාලන නොඉවසුම් ගතිය හේතුවෙන් ජාත්‍යන්තරයේ පැමිණීම සැලකිය යුතු අන්දමින් කඩාකප්පල් වීමට ඉඩ තිබෙන බවට ලෝක සංචාරක සංසද ආයතනය අනතුරු අඟවා තිබෙනවා.
“රටවල් සියයකින් පමණ ක්‍රීඩා ලෝලීන් පැමිණෙන බව මම දන්නවා” යනුවෙන් වෑන්ස් ප්‍රකාශ කළා.
“ඔවුන්ගේ පැමිණීම අපේත් උවමනාවයි. ඔවුන් සතුටු වනවා දකින්න අපට අවශ්‍යයි. ඔවුන් තරග නරඹනවා දකින්න අපට ඕන .”
“නමුත් වෙලාව ආවම, ඔවුන් ආපසු ගෙදර යා යුතුයි.”
ලබන මාසයේ ආරම්භ වන FIFA පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ද අමෙරිකාවේ ක්‍රීඩාංගණ 12ක.
විදෙස් අමුත්තන් මිලියන දෙකක් පමණ මේ තරගාවලියට පැමිණෙන ඇතැයි අපේක්ෂා කරනවා.
“අපි දැනටමත් මේ සංචාරක ලේඛන සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටිනවා” යනුවෙන් දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ක්‍රිස්ටි නෝම් පැවසුවා.
“එය පැහැදිලිවම ලබන වසරේ ලෝක කුසලානය වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේ ගැන පූර්ව ක්‍රියාවලියක් වේවි. ඒ සියල්ල අපි පහසු කර තිබෙනවා” නෝම් පැවසුවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



