ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග මේ රටවල් දෙක අතර දැනටමත් නොපැවැත්වෙන තත්ත්වය හමුවේ ඉන්දියාව හා පාකිස්තානය අතර දේශපාලන සබඳතා තවත් නරක අතට හැරීම නිසා රටවල් බොහොමයක් සහභාගි වන තරගාවලියන්හි මේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන තරග පවා අනතුරෙහි දමා තිබෙනවා.
ආසියා මහාද්වීපයේ ක්‍රිකට් කටයුතු පාලනය කරන ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධානියා ලෙස පාකිස්තාන ඇමතිවරයෙකු පත්ව සිටියදී ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ වසරේ ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටිනවා. අසල්වැසි පාකිස්තානය තවදුරටත් හුදෙකලා කිරීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ.

2025 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඉන්දියාවේ වූව ද, පාකිස්තානය ට එරෙහි තරගයක් කොහෙත්ම සිදු නොවන තත්ත්වයකදී මේ තරගාවලිය මුදල්මය අතින් එතරම් වැදගත්කමක් උසුලන්නේ නැහැ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල් ද තරගාවලියෙන් ආදායමක් උපයා ගත්ත ද ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගවලටයි පැහැදිලිවම තවමත් වැඩි ආකර්ෂණයක් තිබෙන්නේ.
කෙසේ වෙතත්, වර්තමාන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගත්විට, ආසියානු කුසලාන සැලැස්ම සමග ඉදිරියට යාමට BCCI තුළ කැමැත්තක් නැති බවක් පෙනෙන්නට තිබෙනවා. එවැනි සිදුවීමක් මගින්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මෝසින් නක්විගේ මූලිකත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සලයට සිදුවන්නේ විශාල මූල්‍ය පාඩුවක්.
නක්වි ආසියානු ක්‍රිකට් ලොකු පුටුවට පිවිසියේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරයට නම් කෙරුනු හිටපු BCCI ලේකම් ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමෙන් පසුව.
මෝසින් නක්වි
“පාකිස්තාන ඇමතිවරයෙකු ප්‍රධානියා වශයෙන් සිටින ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරන තරගාවලියක ඉන්දියා කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැහැ. රටේ මතය එයයි. ළඟදී පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියෙන් අපේ ඉවත් වීම පිළිබඳව අපි වාචිකව ආසියානු ක්‍රිකට් කවුන්සලයට දන්වා තිබෙනවා. ඔවුන්ගේ තරගාවලියන්ට අපේ අනාගත සහභාගිත්වයත් දැනට නතර කර තිබෙනවා. අපි ඉන්දියා රජයත් එක්ක නිරන්තර සබඳතාවකින් ඉන්නවා” යනුවෙන් BCCI ආරංචි මාර්ග පැවසූ බව ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතේ සඳහන්ව තිබෙනවා.
ආසියානු කුසලාන තරගාවලියේ අනුග්‍රාහකයන් වැඩි දෙනෙක් ඉදිරිපත් වන්නේ ඉන්දියාවෙන් බැවින් වර්තමානයේ එරට තිබෙන පාකිස්තාන විරෝධී මතය නිසා තරගාවලියේ සැලසුම් සමග ඉදිරියට යාම BCCI ට ඉතා දුෂ්කර කාර්යයක් වී තිබෙනවා.

2024 වසරේදී, Sony Pictures Networks India (SPNI) ආයතනය ආසියානු කුසලාන තරගාවලියේ මාධ්‍ය අයිතීන් අමෙරිකානු ඩොලර් මිලියන 170කට මිලදී ගත්තා. කෙසේ වෙතත්, එම තරගාවලිය මේ වසරේ සිදු නොවන්නේ නම් එම ගිවිසුම නැවත සකස් කිරීමට සිදුවෙනවා.
2023 ආසියානු කුසලාන තරගාවලිය හයිබ්‍රිඩ් මොඩලයකට අනුව පැවති අතර එහිදී තරගාවලියේ කොටසක් ක්‍රීඩා කෙරුනේ ශ්‍රී ලංකාවේ. ඉන්දියාව කොළඹදී එහි ශූරතාව හිමිකර ගත් අතර පාකිස්තානය ට අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



