ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩා කිරීම දැන් තහනම් කර තිබෙනවා.
ටලිබාන් යටතේ සද්ගුණයේ ව්‍යාප්තිය සහ දුසිරිත වැළැක්වීමේ අමාත්‍යංශයේ එක් ආඥාවකින් චෙස් ක්‍රීඩා කිරීම භයානක ක්‍රියාවක් බවට සැණින් පත්වුනේ එක් රැයකින්. චෙස් දැන් ‘හරාම්’. තහනම්.
සූදු කෙළීම පිළිබඳව අවධානය යොමු කර වර්තමානයේ මේ ක්‍රීඩාව නිරීක්ෂණය කරමින් සිටින ටලිබාන් රජය ඇෆ්ගනිස්තාන ජාතික චෙස් සම්මේලනය (ANCF) ද අත්හිටුවා තිබෙනවා.
ආගමිකව සැලකිලිමත් වීම පිණිස චෙස් ක්‍රීඩාව තහනම් කළ බව අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. රජුන්ගේ මේ ක්‍රීඩාව ආගමික හේතුන් මත සියුම් පරීක්ෂාවට ලක්වූ පළමු අවස්ථාව මෙය නෙවෙයි.

“ෂරියා ඉස්ලාමීය නීතියට අනුව චෙස් සලකනු ලබන්නේ සූදුවක් ලෙසින්” යැයි ක්‍රීඩා අධිකාරියේ ප්‍රකාශකයෙක් පවසනවා. “චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආගමික සැලකිලිමත් වීමක් හටගෙන තිබෙනවා. මේවා පිළිබඳව සොයා බලන තෙක් චෙස් ක්‍රීඩාව ඇෆ්ගනිස්තානයේ තහනම්” යනුවෙන් ඔහු කියනවා.
ඇෆ්ගනිස්තාන බලධාරීන් මෑත වසරවලදී අනෙකුත් ක්‍රීඩාවන්ටද සීමා පනවා තිබෙන අතර රට තුළ කිසිම ක්‍රීඩාවක් කිරීම කාන්තාවන්ට සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. පසුගිය වසරේදී, වෘත්තීය තරගාවලියක් වන මිශ්‍ර සටන් කලාව (MMA) වැනි නිදහස් සටන් ක්‍රීඩාවන් ද තහනම් කෙරුනේ ඒවා ප්‍රචණ්ඩත්වයෙන් වැඩි සහ ෂරියා නීතියට ගරු කිරීමේදී එය ගැටලු සහිත බවට ප්‍රකාශ කරමින්.
මෙය තාවකාලික අත්හිටුවීමක් මිස තහනමක් නොවන බව ANCF නිලධාරියෙක් පවසනවා.
“සම්පූර්ණයෙන්ම තහනම් කළ MMA ක්‍රීඩාව වගේ නොව චෙස් ක්‍රීඩාව නීතිවිරෝධී කර නැහැ. ආගමික හා පරිපාලනමය සමාලෝචනයන් පැවැත්වෙන අතරතුර එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.”
ඇෆ්ගනිස්තානයේ තිබෙන ජාතික චෙස් සම්මේලනයට පසුගිය වසර දෙකේදී ඵලදායී ක්‍රියාකාරකම් කිසිවක් නොතිබූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
“විධිමත් හෝ අවිධිමත් මට්ටමෙන් චෙස් ක්‍රීඩා කිරීමට මේ මොහොතේ අවසර නැහැ” යනුවෙන් ANCF සභාපති Ghulam Ali Malak Zad පවසනවා.
“තාවකාලික තහනම යන වචනයෙන් සමාලෝචන කාලයක් පිළිබඳව හැඟීමක් ඇතිවුනත් චෙස් ක්‍රීඩාව නැවත ආරම්භ කරනවාද, ආරම්භ කරනවා නම් ඒ දිනය කවදාද යන්න පිළිබඳව කිසිම කාල රාමුවක් හෝ මාර්ගෝපදේශයක් ලබා දී නැහැ” යනුවෙන් සභාපතිවරයා සඳහන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇෆ්ගන් චෙස් සම්මේලනයට ඔවුන්ගේ නිල මෙහෙයුම් නතර කිරීමට බලකර තිබෙන අතර උද්‍යාන හා ක්‍රීඩා සමාජ වැනි ප්‍රසිද්ධ ස්ථානවල ඇෆ්ගන් ජනතාව නිදැල්ලේ විනෝදයට කරන චෙස් ක්‍රීඩාව පවා තහනමට ලක්ව තිබෙනවා. චෙස් ක්‍රීඩකයන් අවිනිශ්චිත භාවයට මුහුණ දී සිටින අතර ඔවුන් ආදරය කරන ක්‍රීඩාවේ සාමාන්‍ය පරිදි නියැලීම පවා අවදානමක් බවට පත්ව තිබෙනවා.
| ANCF සභාපති Ghulam Ali Malak Zad
“මේ අභියෝග මධ්‍යයේ වූවත්, ඇෆ්ගන් චෙස් සම්මේලනයේ සභාපති වශයෙන් මම මීට පෙර මෙන් දැනුත් ක්‍රීඩකයන් වෙනුවෙන් කැපවී සිටිනවා. රටින් පිටුවහල්ව සිටිමින් දිගටම තරග කරන ඇෆ්ගන් නියෝජිතයන් හා ශූරයින් අපේ චෙස් උරුමයේ ධජය ප්‍රාණවත්ව තබාගෙන සිටින අන්දම දකින විට අපමණ සතුටක් දැනෙනවා. මේ තනි පුද්ගලයන් නිකම් ම ක්‍රීඩකයන් පමණක් නෙවෙයි. ඔවුන් අපේ ජාතික අනන්‍යතාව හා ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ අපේ තානාපතිවරුන්.”
චෙස් ක්‍රීඩා කිරීමේදී කිසිම ඔට්ටු ඇල්ලීමක් සිදු නොවූ බවත් අනෙකුත් බොහෝ ඉස්ලාමීය රටවලට ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩකයන් සිටින බවත් මිත්‍රශීලී චෙස් නිතරම ක්‍රීඩා කෙරෙන ඇෆ්ගනිස්තානයේ කුඩා තේ කඩේක හිමිකරුවෙක් කියා සිටිනවා.
තමා මේ චෙස් ක්‍රීඩා අත්හිටුවීමට ගරු කළත් එය තමාගේ බිස්නස්වලට පාඩුවක් සහ චෙස් ක්‍රීඩාවෙන් විනෝද වූ අයට වේදනාවක් බව ඔහු කියනවා. “මේ දවස්වල තරුණ පුද්ගලයන්ට විනෝද වෙන්න ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් නැහැ. ගොඩක් අය හැමදාම මෙතැනට ආවා. ඔවුන් තේ කෝප්පයක් රස විඳිමින් ඔවුන්ගේ මිතුරන්ට චෙස් තරගයකට අභියෝග කරනවා.”
ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ (FIDE) හිටපු සභාපති Kirsan llyumzhninov මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින්, චෙස් ක්‍රීඩාව තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි කරන ඉල්ලීමක් සමග ටලිබාන්වරුන්ට ඇපෑලක් තමා සූදානම් කර තිබෙන බව කියා තිබෙනවා.
ටලිබාන්වරු 1996 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණි වහාම ද චෙස් ක්‍රීඩාව තහනම් කළා. එහෙත් 2001 වසරේ එම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව චෙස් ක්‍රීඩාව කාලය ගෙවා දැමීමේ ජනප්‍රිය ක්‍රියාවක් ලෙස නැවත පැමිණියා. 2018 වසරේ පැවති Batumi Olympiad තරගාවලියේදී ඇෆ්ගනිස්තානය CM Khaiber Farazi, CM Habibullah Amini, Wais Abdul Khaliq, Ashrafi Sulaiman Ahmad සහ Safy Kanz Ahmad යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම මාර්ගයෙන් ‘ඩී’ අංශය ජයග්‍රහණය කළා. ටලිබාන් නැවත වරක් 2021 වසරේදී රටේ පාලනය අත්පත් කරගත් අතර ඔවුන් දැන් මේ තහනම ප්‍රකාශ කර තිබෙනවා.
ආගමික හේතුන් මත චෙස් ක්‍රීඩාව තහනම් කිරීමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. සදාම් හුසේන් ට පසු යුගයේදී ඉරාකයේ පූජකවරුන් ඉරාකයේ ද, 1981 වසරේදී අයතුල්ලා කොමේනි ඉරානයේ ද චෙස් ක්‍රීඩාව තහනම් කෙරුවා. David Shenk ගේ The Immortal Game පොතට අනුව, චෙස් ක්‍රීඩාවට එරෙහිව ඉස්ලාමීය නීතියක් මුලින්ම පනවා තිබෙන්නේ වසර 655දී Caliph Ali Ben Abu-Talib විසින් වන අතර 780 වසරේදී Abbasid Caliph al-Mahdi ibn al-Mansur විසින් තවත් තහනමක් පනවා තිබෙනවා.
| Caliph Ali Ben Abu-Talib
මධ්‍යතන යුගයේ මුල් අවධියේ සිට 13 වැනි ශතවර්ෂයේ මැද වනතෙක් කතෝලික පල්ලිය චෙස් ක්‍රීඩා කිරීම අඛණ්ඩව තහනම් කළේ එය චෙස් හා දාදු කෙළීම අතර පැහැදිලි වෙනසක් නොපෙන්වූ බැවින්. 1061 වසරේදී කාඩිනල් බිෂොප් Petrus Damiani විසින් පාප් වහන්සේ ලෙස තේරුණු දෙවැනි Alexander සහ Archdeacon Hildebrand (පසුව හත්වැනි Gregory පාප් වහන්සේ) වෙත යවන ලද ජනප්‍රිය ලිපියකින් සමහර පූජකවරුන් චෙස් ක්‍රීඩාව ඇතුළු විනෝදකාමී ක්‍රියාකාරකම්වලට සහභාගි වෙමින් පව්කර ඇති බව කියා තිබෙනවා.
වාසනාව සම්බන්ධ වන අනෙකුත් ක්‍රීඩා මෙන් නොව චෙස් යනු නිපුණතාව මත පදනම් වූ ක්‍රීඩාවක් බවට තර්ක කරමින් ෆ්ලොරන්ස් හි බිෂොප්තුමා ඔහුගේ චෙස් ක්‍රීඩාව සාධාරණීකරණය කළ බව ද ඉතිහාසයේ සඳහන්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



