ජයග්‍රාහී ටොට්නම් හොට්ස්ප කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට වේදිකාවෙන් බැස යාමට සිදුවූයේ හිස්අතින්.
පදක්කම් අවසන් වීමට හේතුව වී තිබුනේ අපේක්ෂිත සංඛ්‍යාවට වඩා වැඩි ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිසක් ඔවුන්ගේ තනි පදක්කම් ලබා ගැනීම පිණිස පෙළගැසීම නිසා.

මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායම ගෝල් 1-0කින් පරාජය කර ටොට්නම් ස්පර්ස් (Tottenham Spurs) කණ්ඩායමට වසර 17කට පසුව ඔවුන්ගේ පළමු පාපන්දු ශූරතාව සහ සිවුවැනි යුරෝපීය කිරුළ ලබා දීමට මුල්වූ නායක Son Heung-min ට ද පදක්කම ලැබුනේ නැහැ. තනි පදක්කම් ලබා ගැනීම සඳහා ඔහු සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් පෙළ ගැසී සිටියේ පෝලිමේ අන්තිමට. පදක්කම් ගෙල පැළඳීමේ ඔවුන්ගේ වාරය එළඹෙන විට පදක්කම් අවසන්ව තිබුණා.
අවසානයේ Son ට ජයග්‍රාහී කුසලානය එසවීමට සිදුවූයේ ඔහුගේ ගෙලේ පදක්කමක් නැතිව.

යුරෝපීය ලීග් පාපන්දු අවසාන මහා තරගයෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාහී ක්‍රීඩකයන්ට පිරිනමන පදක්කම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව තරගාවලිය සංවිධානය කළ යුරෝපා පාපන්දු බලධාරීන් වන UEFA සමාව ඉල්ලා තිබෙනවා.
“අපේ මහත් අප්‍රසාදයට, පදක්කම් ප්‍රදානෝත්සවය අතරතුර ප්‍රමාණවත් පදක්කම් අපට වේදිකාවේ තිබුනේ නැහැ. මීට හේතුව වුනේ ක්‍රීඩකයන් ගණන් කිරීමේදී අනපේක්ෂිතව සිදුවූ අඩුවයි” යනුවෙන් යුරෝපීය පාපන්දුවේ පාලකයන් පවසා තිබෙනවා.
“තුවාල ලැබූ ක්‍රීඩකයන් ඇතුළුව කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් පදක්කම් ප්‍රදානෝත්සවයට සහභාගි වූයේ මුලින් අපේක්ෂා නොකළ පරිදියි. අඩුවූ පදක්කම් අප්‍රමාදව ක්‍රීඩකයන්ගේ විවේක කාමරයේදී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දුන්නා. ඒ සමග අපි ඔවුන්ගෙන් අවංකව සමාව ඉල්ලුවා” යැයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
UEFA සභාපති Aleksander Ceferin මේ සිද්ධියෙන් වේදිකාව මත මහත් අපහසුතාවට පත්වුණා. ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනාටම ඔහුගේ අතින් පිරිනැමීමට පදක්කම් නැතිවූ විට ඔහු අන්දමන්ද වුනා. නායකයා ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකුට ලබා දීමට පදක්කම් නැතිව තිබියදී ආබාධයන්ට ලක්වූ ඔවුන්ගේ කණ්ඩායම් සගයන් කිහිප දෙනෙකු ඒ වන විට ඔවුන්ගේ පදක්කම් ලබා ගෙන සිටි අතර කිහිලිකරුවලින් පැමිණ සිටි ක්‍රීඩකයෙකු ද ඒ අතර සිටියා.
වේදිකාව මත ප්‍රදානය කෙරෙන්නේ එක් පාපන්දු සමාජයකට පදක්කම් 30 බැගින් පමණක් බවට යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය ක්‍රීඩා සමාජවලට දැනුම් දී තිබුණා.
උත්සවයෙන් පසුව තවත් පදක්කම් 20ක් ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලයට බෙදා දීම පිණිස ක්‍රීඩා සමාජයට ලබා දුන් බව ඔවුන් කියා සිටියා. ජයග්‍රාහී ක්‍රීඩකයන් සියලු දෙනාමට පදක්කම් නොලැබී තරගයේ නිලධාරීන් අට දෙනා ට ම ඔවුන්ගේ පදක්කම් ලැබී තිබුනේ UEFA තවත් අපහසුතාවට ලක්කරමින්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



