ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් නැතිව අතරමංව සිටිනවා.
ජගත් පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් අමෙරිකාවේ පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි විය හැක්කේ මහාද්වීපවල ප්‍රධානතම වෘත්තීය පාපන්දු තරගාවලියන්හි ශූරයින්ට පමණයි. රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල්-නසර් කණ්ඩායමට සෞදි වෘත්තීය ලීගයේ ශූරයින් වීමට නොහැකි වුනා. එම ලීගයේ ශූරයින් වෙමින් අන්තර් පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින සෞදියේ ලොකුම පාපන්දු ක්‍රීඩා සමාජය මෙන්ම ආසියාවේ වැඩිම ශූරතා දිනා සිටින පාපන්දු සමාජය වන අල්-හිලාල්, රොනාල්ඩෝව ඔවුන්ගේ කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට අකමැති වී තිබෙනවා.
අමෙරිකානු ඩොලර් බිලියන 930ක වත්කම් කළමනාකරණය කරමින් Al Hilal, Al Nassr, Al Ittihad සහ Al Ahli යන සෞදි අරාබියේ ඉහළම පාපන්දු ක්‍රීඩා සමාජවල හිමිකරුවන්ව සිටින සෞදි අරාබි මහජන ආයෝජන අරමුදල (PIF) රොනාල්ඩෝව බඳවා ගැනීමේ අවස්ථාව අල්-හිලාල් සමාජයට පිළිගන්වා ඇතැයි වාර්තා වනවා.

අල්-නසර් කණ්ඩායමේ නායකයා වන මේ 40 හැවිරිදි පෘතුගාල පාපන්දු සුපිරි තරුව ජූනි 15 වැනිදා ඇරඹෙන පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේදී අල්-හිලාල් කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමට PIF ට උවමනා වී තිබෙනවා. මේ තරගාවලියේදී සෞදි අරාබි රට නියෝජනය කරන එකම කණ්ඩායම අල්-හිලාල් වන අතර එහි රොනාල්ඩෝ සිටීම නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමේ එන්නතක් ලෙසින් PIF සලකනවා.
කෙසේ වෙතත්, අල්-හිලාල් අධ්යක්ෂ මණ්ඩලය මේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් 26 හැවිරිදි නයිජීරියානු තරුව වන Victor Osimhen වැනි වඩාත් තරුණ ක්‍රීඩකයෙකුට වැඩි මනාපයක් දක්වන බව වාර්තා වනවා.

රොනාල්ඩෝ කණ්ඩායමට බඳවා ගන්නේ නම් දැඩි කොන්දේසි අල්-හිලාල් විසින් පැනවූ බවට කළින් වාර්තා වී තිබුණා. මේ අතරට නායකත්වයේ අත්පටිය රොනාල්ඩෝ ට නොදීම හා කණ්ඩායමේ තරග ආරම්භක ස්ථානයක සහතිකයක් වෙනුවට ක්‍රීඩකයන් මාරුවන තත්ත්වයක් ඔහුට ලැබීම ඇතුළත්ව තිබෙන අතර දෙවැනි කොන්දේසිය රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බ්‍රසීලයේ Palmeiras සමාජය රොනාල්ඩෝ ඔවුන්ගේ කණ්ඩායමට එක්කර ගැනීමට අදහස් කර සිටින බව ද වාර්තා වී තිබෙනවා.

දකුණු අමෙරිකානු පාපන්දුවේ ප්‍රබලයන් වන බ්‍රසීලය Palmeiras, Flamengo, Fluminense සහ Botafogo යන කණ්ඩායම් හතරකින් මේ තරගාවලිය නියෝජනය කරනවා. බ්‍රසීල පාපන්දු ක්ෂේත්රයේ වැඩිකර තිබෙන මූල්‍ය ආධාර මත රොනාල්ඩෝ ට බ්‍රසීලය ට මාරුවීමේ මං විවර වීමට ඉඩ තිබෙනවා.
අල්-හිලාල් කණ්ඩායමයි සෞදි අරාබියේ වඩාත්ම සාර්ථක පාපන්දු ක්‍රීඩා සමාජය ලෙස තවදුරටත් රැඳී සිටින්නේ. ඔවුන් වාර්තාගත අයුරින් ආසියානු චැම්පියන්ස් ලීග් ශූරතා 4ක් සහ සෞදි වෘත්තීය ලීග් ශූරතා 19ක් දිනා ගෙන සිටින අතර ලොව ඉහළම පාපන්දු කණ්ඩායම් 100 අතරට ශ්‍රේණිගතව සිටින එකම ආසියානු කණ්ඩායම බවට පත්වෙමින් ඔවුන් අංක 78 වැනි ස්ථානයේ පසුවනවා.
අල්-හිලාල් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රොනාල්ඩෝ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමේ අපේක්ෂාවෙන් මොරොක්කෝවේ Wydad Casablanca සමාජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
“රොනාල්ඩෝ ට ඔහුගේ පෞද්ගලික පදක්කම් වර්ධනය කර ගැනීම පිණිස Wydad කණ්ඩායමට බැඳී යුරෝපය හා ආසියාවෙන් පසුව තුන්වැනි මහාද්වීපය වෙනුවෙන් 2025 Club World Cup තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍යව තිබෙනවා” යනුවෙන් එක් වාර්තාවක පළවී තිබෙනවා. “රොනාල්ඩෝ ට මොරොක්කෝව සමග ශක්තිමත් බැඳීමක් තිබෙනවා. කිහිප වතාවක්ම එම රටට ගොස් තිබෙන ඔහුට එහි ව්‍යාපාර කිහිපයක් තිබෙනවා.”
කෙසේ වෙතත්, මේ වාර්තා ප්‍රතික්ෂේප කරන Wydad පාපන්දු සමාජයේ සභාපතිවරයා, රොනාල්ඩෝව බඳවා ගැනීමට තරම් මූල්‍ය සම්පත් තම සමාජයට නැති බව කියා තිබෙනවා.

Wydad කණ්ඩායමට අප්‍රිකාවේ එක් නියෝජිතයෙකු ලෙසින් පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියට දොරටු විවර වුනේ ඔවුන්ගේ අප්‍රිකානු පාපන්දු සම්මේලන (CAF) 2021-2022 චැම්පියන්ස් ලීග් කිරුළට ස්තූතිවන්ත වන්නටයි.
මේ අතර, පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අයත් සියලුම පාපන්දු සම්මේලනවලට ක්‍රීඩකයන් මාරු කිරීමේ අමතර අවස්ථාවක් ජූනි මස මුලදී ලබා දීමට ජගත් පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබෙනවා. ඔවුන් මේ පියවර ගෙන තිබෙන්නේ මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසුකම් තිබෙන අලුත් ක්‍රීඩකයින්ව ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩා සමාජවලට අවසර ලබා දීමටයි.
මේ අනුව ආජන්ටිනාව, ඔස්ට්‍රියාව, බ්‍රසීලය, ඊජිප්තුව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, නවසිලන්තය, පෘතුගාලය, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකාව යන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තිබෙන FIFA ට අනුබද්ධිත සාමාජික රටවල් විස්සට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවනවා.
මේ තරගාවලියට රොනාල්ඩෝ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සමහර ක්‍රීඩා සමාජ අතර දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කර තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



