පෘතුගාල සුපිරි තරුව සමග ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවට අල්-හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බව සෞදි අරාබියේ Okaz පුවත්පත වාර්තා කර තිබෙනවා. “ක්‍රීඩකයා සහ සෞදි අරාබි මහජන අයෝජන අරමුදල - Saudi Arabian Public Investment Fund (PIF) - අල්-හිලාල් ක්‍රීඩා සමාජයේ ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ කොන්දේසිවල අවසන් තීරණයකට පිවිසියා.”
අල්-හිලාල්, අල්-නසර්, අල්-ඉටිහාඩ් සහ අල්-අහ්හී යන සෞදියේ ඉහළම පෙලේ පාපන්දු ක්‍රීඩා සමාජයන්හි හිමිකරුවන් වන PIF සංවිධානයට ඩොලර් බිලියන 930ක වත්කම් තිබෙනවා.

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියට (2025 FIFA Club World Cup) රොනාල්ඩෝ ට ක්‍රීඩා කිරීමට හැකිවනු පිණිස ඔහු බඳවා ගන්නා ලෙසට PIF මීට කළින් අල්-හිලාල් ක්‍රීඩා සමාජය උනන්දු කළා. මේ ගෝලීය පාපන්දු තරුව ට අල්-හිලාල් ගැලපෙන වේදිකාවක් බව ඔවුන් සිතනවා.
කෙසේ වෙතත්, කළින් පැවති සාකච්ඡා අසාර්ථක වූයේ තරග ආරම්භක 11 දෙනාට ඇතුළත් වන බවට සහතික නොවීම සහ කණ්ඩායමේ නායකත්වය නොලැබීම යන කොන්දේසි රොනාල්ඩෝ පිළිගත යුතු බවට අල්-හිලාල් අවධාරණය කර තිබීම නිසා බව වාර්තා වනවා.
එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස රොනාල්ඩෝ තුළ තිබෙන දීර්ඝ කාලීන ආශාව මත ඔහු අල්-හිලාල්ගේ කොන්දේසි පිළිගෙන ඇති බව එම අරාබි පුවත්පත සඳහන් කරනවා. මේ පිළිබඳව නිල නිවේදනයක් ඉදිරි දිනවල නිකුත් කෙරෙනු ඇතැයි පැවසෙනවා. ගිවිසුමේ තාක්ෂණික හා මූල්‍යමය අංගවල සම්පූර්ණ පාලනය සුරක්ෂිත කර ගැනීමෙන් පසුව එම ක්‍රීඩා සමාජය ඔවුන්ගේ කළින් සිතුවිලි වෙනස් කර ඇතැයි ද ප්‍රකාශ වනවා.
ග්‍රීෂ්ම සෘතුවේ ක්‍රීඩක මාරුවේ කවුළුව ජූනි 1 වැනිදා විවෘත වන අතර පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය ජූනි 14 වැනිදා ආරම්භ වනවා.

ආසියාවේ වඩාත්ම සාර්ථක පාපන්දු සමාජය වන්නේ අල්-හිලාල්. ඔවුන් ආසියානු පාපන්දු සම්මේලනයේ චැම්පියන්ස් ලීග් ශූරතා 4ක් දිනා ගැනීමට අමතරව සෞදි වෘත්තීය ලීග් ශූරතා 19ක් හිමිකර ගැනීමට සමත්ව සිටිනවා. මෙය අල්-නසර් හා අල්-ඉටිහාඩ් යන කණ්ඩායම් දෙක ම දිනා ගත් සම්පූර්ණ ශූරතා සංඛ්‍යාව හා සමාන වීම විශේෂත්වයක්. ලොව ඉහළම පාපන්දු කණ්ඩායම් 100 අතරට ඇතුළත්ව සිටින එකම ආසියානු කණ්ඩායම වන්නේ Al-Hilal.
2025 පාපන්දු සමාජ ලෝක කුසලානයේදී එම කණ්ඩායම ‘එච්’ කොටසට ඇතුළත්ව සිටින්නේ Real Medrid (ස්පාඤ්ඤය), Pachuca (මෙක්සිකෝව) සහ Red Bull Salzburg (ඔස්ට්‍රියාව) යන කණ්ඩායම් සමග.
2025 පාපන්දු සමාජ ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම් දහයක් පමණ තරගාවලිය වෙනුවෙන් රොනාල්ඩෝ සමග කෙටිකාලීන ගිවිසුමක් අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බව මේ අතර වාර්තා වනවා. ආසියාව, අප්‍රිකාව හා ලතින් අමෙරිකාවේ මේ ක්‍රීඩා සමාජවලට මාසයක කාලයක් පැවැත්වෙන තරගාවලිය සඳහා රොනාල්ඩෝව තාවකාලිකව ඉල්ලා ගැනීමට අවසර තිබෙනවා. එහෙත් යුරෝපයෙන් හෝ අමෙරිකාවෙන් මේ වනතෙක් රොනාල්ඩෝ ට යෝජනාවක් ලැබී නොතීමයි මෙහිදී වැදගත් කරුණ වී තිබෙන්නේ.
පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය ජූනි 14 සිට ජූලි 13 දක්වා පැවැත්වෙනවා. එම කාලසීමාව වෙනුවෙන් රොනාල්ඩෝව තාවකාලිකව ලබා ගැනීම යනු ඔහුට මසක වැටුපක් පමණක් ගෙවීමයි. එම ඩොලර් මිලියන 18ක මුදල යුරෝපයෙන් පිට තිබෙන පාපන්දු ක්‍රීඩා සමාජවලට දරන්න බැහැ.
අල්-නසර් සමග තිබෙන 40 හැවිරිදි රොනාල්ඩෝගේ වර්තමාන කොන්ත්‍රාත්තුව ජූනි 30 වැනි දින අවසන් වනවා. ඔහු වෙනත් ක්‍රීඩා සමාජයකට මාරුවන බවට පවතින දූෂමාන ආරංචි මධ්‍යයේ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ දිගුවක් අල්-නසර් විසින් රොනාල්ඩෝ ට පිළිගන්වා තිබෙන්නේ ඔහුගේ දැන් තිබෙන වැටුපෙන් භාගයක් අඩු කරමින් බවට වාර්තා වනවා.

රොනාල්ඩෝ ට දැන් ලෝකයේ වැඩිම පාපන්දු වැටුපක් හිමිවන අතර එය වාර්ෂිකව යුරෝ මිලියන 200 (ඩොලර් මිලියන 227)ක්.
සියයට 52ක වැටුප් අඩුවීමක් ඇතුළත් නව ගිවිසුමක් අල්-නසර් විසින් යෝජනා කර තිබෙන අතර එමගින් රොනාල්ඩෝගේ වාර්ෂික ඉපයීම යුරෝ මිලියන 96 (ඩොලර් මිලියන 110)ක් දක්වා අඩුවනු ඇතැයි තවත් අරාබි පුවත්පතක් වාර්තා කර තිබෙනවා. ඒ වෙනුවට එම ක්‍රීඩා සමාජය ඔවුන්ගේ කණ්ඩායමේ සියයට 5ක හිමිකාරිත්වයක් සහ සෞදි අරාබිය තුළ අමතර ආයෝජන වාසි රොනාල්ඩෝ ට යෝජනා කර තිබෙනවා.
PIF ට අයිති එක් පාපන්දු සමාජයක් වන අල්-නසර්ගේ නියම වටිනාකම ප්‍රසිද්ධ කර නැහැ. වෙලෙන්සියා නමැති ස්පාඤ්ඤ පාපන්දු සමාජය ඩොලර් මිලියන 450ක පමණ වටිනාකමකට මෑතකදී තක්සේරු කෙරුනු අතර PIF විසින් නිව්කාස්ල් යුනයිටඩ් නමැති ප්‍රිමිය ලීග් කණ්ඩායම ඩොලර් බිලියන 1.3ක පමණ මුදලකට මිලදී ගනු ලැබුවා. ඒ අනුව, අල්-නසර් හි සියයට 5ක කොටස ඩොලර් මිලියන ගණනාවක් වටිනවා.

මේ යෝජනාවට රොනාල්ඩෝ තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. Al Awwal Park හි පැවති මේ තරග වාරයේ අල්-නසර් කණ්ඩායමේ අවසාන සත්කාරක තරගයෙන් පසුව රොනාල්ඩෝ සෑම ගෝල් කණුවක් වෙතම ගොස් ඒවා ස්පර්ශ කළේ ඔහු එම කණ්ඩායමෙන් සමුගන්නවා ද යන සැකයක් සමහර ක්‍රීඩා ලෝලීන් තුළ ඇති කරමින්.
සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ අවසන් වටය සඳුදා අවසන් වීමෙන් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සමාජ මාධ්‍යයේ තැබූ පෝස්ටුවකින් ඔහුගේ පාපන්දු අනාගතය පිළිබඳ අනුමානයන් හටගෙන තිබෙනවා.
“මේ පරිච්ඡේදය ඉවරයි” රොනාල්ඩෝ X වේදිකාවේ සිටින ඔහුගේ මිලියන 115ක අනුගාමිකයන්ට කියා සිටියේ අල්-නසර් ජර්සිය පැළඳ ගත් ඔහුගේ ඡායාරූපයක් ද පළ කරමින්.
“මගේ කතාන්දරය? එය තවමත් ලියැවෙමින් තිබෙනවා. සියලු දෙනාට මම කෘතඥ වෙනවා!”
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
පාපන්දු සමාජ ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්න කණ්ඩායමක් නැතිව රොනාල්ඩෝ අතරමං වෙලා



