ලිවපූල් (Liverpool) නගරය මධ්‍යයේ වෝට වීදියේදී (Water Street) පෙළපාලියට සඳුදා සවස කඩාවැදුනු ෆෝඩ් ගැලක්සි (Ford Galaxy) කාරයක් පදිකයන් සමග ගැටෙමින් සෙනඟ අතරට පදවාගෙන යාම නිසා හටගත්තේ මහා විපතක්.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 65 දෙනා අතර ළමයින් සිවු දෙනෙකු ද සිටින අතර මේ සම්බන්ධයෙන් බටහිර ඩර්බි පෙදෙසේ 53 හැවිරිදි ඉංග්‍රීසි ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
| ලිවර්පූල් හි මෝටර් රථ රියදුරු @dailymail
වාහනය තමාගේ බබා සිටි ප්‍රෑමය අඩි 15ක් දුරට ඇදගෙන යමින් තමාගේ බිරිඳ ද යටකර ගිය අන්දම දුටු පියෙක්, “මට සියල්ල නැතිවුනු බවක් හිතුනා” යනුවෙන් පවසනවා. මේ බිය උපදවන සිද්ධියෙන් පසුව ඔහු තවමත් සිටින්නේ මහත් කම්පනයෙන්.
“කාරය මගේ පපුවේ වැදී මගේ වම් අත පැත්තට ගියා” යනුවෙන් ඩැනියල් ඊව්සන් කියන්නේ මහත් තැතිගැන්මකින් යුතුව. “මගේ බිරිඳ රෝදයට යටවුනා. කාරය ඇගේ කකුල උඩින් ගොස් පාර දිගේ ඇයව ඇදගෙන ගියා.”
“ඊට පස්සේ මගේ පුංචි පුතාව එයා සිටි ප්‍රෑමයත් එක්කම අඩි 15ක් විතර දුරකට ඇදගෙන ගියා.”
“මගේ පුතා කොහෙද කියලා මම එකපාරම දැන සිටියේ නැහැ. එතකොටයි මම දැක්කේ එයා සිටි ප්‍රෑමය. එයා පණපිටින්ද නැද්ද කියලා මම දැන හිටියේ නැහැ. එයා පණපිටින් ඉන්නවා මම දැක්කේ ඊට පස්සෙයි.”

ඊව්සන් ඔහුගේ බිරිඳ පදික වේදිකාවට වත්තන් කරගෙන ගොස් ඇයව එතැන තබා ඔවුන්ගේ බබා අසල තිබූ ආපනශාලාවකට ඔසවා ගෙන ගියේ ඔහු නිරූපද්‍රිතව සිටින බවට තහවුරු කර ගැනීමටයි. අනතුරුව නැවත බිරිඳ වෙත ගිය ඔහු පුතා පණපිටින් සහ ආරක්ෂා සහිතව සිටින බව ඇයට දැනුම් දුන්නා.
“කාරයේ ගැටීමෙන් මිනිසුන් අහසට විසිවුනා. මිනිස්සූ කෑගැහුවා. ඒ වෙලාවෙ තිබුනේ ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු භීතියක් පමණයි. මට මගේ සියල්ල නැතිවුනා කියලා මට ඇත්තමට හිතුනා” ඊව්සන් කියා සිටියා. ඔහුගේ බිරිඳ තවමත් සිටින්නේ රෝහල්ගතව.
“මේ සිද්ධිය මගේ දිවිය තිබෙන තුරා මගේ මතකයේ රැඳී තියේවි. මීට පස්සේ මට පෙළපාළියකට හෝ ඒ වගේ උත්සවයකට යන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නැහැ.”
වෝට වීදියේ සිටි සෙනඟ අතර හෘදයාබාධයක් වැළඳුනු පුද්ගලයෙකුට සත්කාර කිරීම පිණිස ගිලන් රථයකට පැමිණීම සඳහා මාර්ග බාධක තාවකාලිකව ඉවත් කෙරුනු මොහොතේ එම ගිලන් රිය පිටුපසින් ෆෝඩ් ගැලක්සි කාරය පෙළපාළියට ඇතුළු වී තිබෙන බව මර්සීසයිඩ් පොලිසිය ප්‍රකාශ කරනවා.
මිනීමැරීමට තැත්කිරීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමට සැකපිට කාරයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ද ඔවුන් තහවුරු කරනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා කවුරුන්ද යන්න පොලිසිය තවමත් හඳුනා ගෙන නැති අතර සැකකරුවෙකුට නීතිමය ලෙස චෝදනා ගොනු කරන තුරු මහා බ්‍රිතාන්‍ය එම සැකකරුවා හඳුනාගැනීමක් සිදු කරන්නේ නැහැ.
ලිවපූල් පාපන්දු කණ්ඩායම ඔවුන් දිනා ගත් ප්‍රිමිය ලීග් කුසලානය ප්‍රදර්ශනය කරමින් විවෘත බස් රථයකින් ගිය පෙළපාළිය නැරඹීමට මිලියනයක පමණ ජනතාවක් එය ගමන් ගත් සැතැපුම් දහයක (කිලෝමීටර් 16) මාර්ගයට රොද බැඳ ගෙන පැමිණ සිටියා.
වසර 30ක නියඟයක් නිමා කරමින් ලිවපූල් කණ්ඩායම අවසන් වතාවට මේ කුසලානය දිනා ගත්තේ 2020 වසරේ. එහෙත් කොවිඩ් වසංගතය නිසා ක්‍රීඩා ලෝලීන්ට ඒ අවස්ථාව උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වුනා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



