මියගිය ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය වන ඩිඑගෝ මැරඩෝනාගේ වෛද්‍ය මණ්ඩලයට එරෙහිව පැවැත්වෙන මේ නඩු විභාගය ඊයේ අවලංගු කරනු ලැබුවේ එම නඩුව සම්බන්ධ අනවසර වාර්තා චිත්‍රපටයකට පෙනී සිටීමේ චෝදනාව මත නඩුවේ එක් විනිසුරුවරියක් ඉන් ඉවත් වීමෙන් පසුව.

හුලිඑටා මකින්ටච් (Julieta Makintach) නමැති මේ විනිශ්චයකාරවරියගේ ක්‍රියා කලාපය නිසා ආජන්ටිනා අධිකරණ පද්ධතියට ජාත්‍යන්තර ලජ්ජාවක් ගෙනැවිත් තිබෙන බව නඩුව අසන ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයේ විනිසුරුවරයෙක් ප්‍රකාශ කළා. අලුත් නඩු විභාගයක් නැවත මුල සිට පැවැත්වෙනු ඇත්තේ වෙනස් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ.
නඩුව පැවැත්වෙන අතරතුර චිත්‍රපටයක් රූගත කිරීමකට තමා අවසර දීම මකින්ටච් මුලදී ප්‍රතික්ෂේප කළ ද, චිත්‍රපට කණ්ඩායම ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන අයුරු සහ ඇය අඩි උස සපත්තු පැළඳ උඩඟු ලීලාවෙන් අධිකරණ ශාලාව හරහා ඇවිද යන අයුරු චිත්‍රපටයේ ට්‍රේලරයෙන් දිස්වීමෙන් පසුව මකින්ටච්ගේ විශ්වාසවන්තකම පිළිබඳව ප්‍රශ්න කෙරුනා.
පැමිණිල්ලේ නීතිඥවරයා, පැමිණිලිකරුවන් සහ විත්තියේ නීතිඥවරුන්ගෙන් බොහෝ දෙනෙක් නව විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසට ඉල්ලා සිටි අතර ඔවුන් විසින් දූෂිත යැයි සලකනු ලැබූ නඩු විභාගය යළි ආරම්භ කිරීමට තීරණය කෙරුනා. අභ්‍යන්තර අධිකරණ ලොතරැයියක් මගින් තෝරා ගනු ලබන විනිසුරුවන් සමග අලුත් නඩුව විභාගයට ගන්නා දිනයක් තවම නියම කර නැහැ.
නඩුව අවලංගු කිරීමට ඊයේ ගත් තීරණයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට තවමත් අවස්ථාව තිබෙන බව නීතිඥවරු පවසන්නේ දැනටමත් ප්‍රමාද වී තිබෙන නඩු විභාගය මේ වසර තුළ නැවත ආරම්භ වේවිද යන සැකය මතුකරමින්.

මැරඩෝනාගේ ජීවිතයේ අවසාන කාලය තුළ ඔහුට ප්‍රමාණවත් සත්කාර ලබා දීමට අසමත් වූ බවට මැරඩෝනාගේ වෛද්‍ය මණ්ඩලයේ හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිනවා. මීට වරදකරුවන් වුවහොත් මේ වෛද්‍ය කණ්ඩායමට වසර අට සහ විසිපහ අතර සිරදඬුවම් නියම වීමට ඉඩ තිබෙනවා.
නඩුව අසන ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලයේ සිටි එක් විනිසුරුවරියක වන මකින්ටච්ගේ සිද්ධියෙන් මෙම නඩු විභාගයේ ඔරලෝසුව නැවත පසුපසට කරකැවී තිබෙනවා.
ඇය අපක්ෂාපාතීව කටයුතු කර නැති බවත් ඇගේ ක්‍රියාවෙන් පැමිණිල්ල හා විත්තිය යන දෙපාර්ශවයටම හානියක් සිදුවූ බවත් ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති Maximiliano Savarino විනිශ්චයකාරවරයා ප්‍රකාශ කළා.
“එක පුද්ගලයෙකු හැරෙන්නට සියලු දෙනාම නඩු විභාගය නියමාකාරයෙන් පවත්වා ගෙන ගියා.”

ඔහුගේ සහාය විනිසුරුවරිය වන Veronica Di Tommaso මෙසේ සඳහන් කළා: “කරුණු පැහැදිලි කළ යුතු, වැරැද්දක් සිදුකළ එක් පුද්ගලයෙක් ඉන්නවා. නමුත් ඒ පුද්ගලයා අධිකරණ පද්ධතිය නෙවෙයි. අධිකරණය අපකීර්තියට පත්කරන්න බැහැ.”
දැනටමත් නඩු වාර 21ක් පවත්වා තිබෙන මෙම නඩුවේ හැරවුම් ලක්ෂ්‍යය පැමිණියේ නඩුවේ රහස්‍ය සිනමා පටිගත කිරීමකට මකින්ටච් සම්බන්ධ බවට මීට දින කිහිපයකට පෙර නැගුනු චෝදනාවලින්. පැමිණිල්ලට මේ චෝදනා පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙමින් නඩුව සතියකට අත්හිටුවුනු අතර පසුගිය අඟහරුවාදා ඔවුන් ඔවුන්ගේ සොයාගැනීම් උසාවියට ඉදිරිපත් කළා.
මකින්ටච් විනිසුරුවරිය අධිකරණ ශාලාවට පැමිණ ශාලාව වටේ ඇවිද යන අයුරු සහ කැමරා ශිල්පී කණ්ඩායම උසාවියේ විවිධ ස්ථානවලට ගෙන යන අයුරු දිස්වන කෝණ කිහිපයකින් පටිගත කර තිබූ මිනිත්තුවයි තත්පර 50ක ට්‍රේලරය එම සොයාගැනීම්වලට ඇතුළත්ව තිබුනා.
නඩුව අපකීර්තිමත් ලෙස කඩාවැටීමෙන් පසුව බුවනොස් අයිරස් පළාතේ ශ්‍රේෂ්ඨාධිකරණය මකින්ටච්ගේ රාජකාරි දින 90කට අත්හිටුවමින් ඇයගේ නොමනා ක්‍රියාකලාපය පිළිබඳ අධිකරණ විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පුවතට අදාල තවත් විස්තර
‘දෙවියන්ගේ නඩුකාරයා’ රඟපෑ ලිංගික ආකර්ෂණ චිත්‍රපටයෙන් මැරඩෝනා නඩුව ඇනහිටී
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



