පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා. ඒ සමග ඔවුන් පාපන්දුවේ ගෝලීය වේදිකාවට පිවිසි එදා මෙදා තුර පළමු මධ්‍යම ආසියානු රට ලෙස ඉතිහාසගත වුනා.
ලබන වසරේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට උස්බෙකිස්තානය බ්‍රහස්පතින්දා සුදුසුකම් ලබා ගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය 0-0ක් ලෙස සමව අවසන් කර ගනිමින්.
අබුඩාබි හි පැවති තරගයේ මේ ප්‍රතිඵලයත් සමග ‘සුදු වෘකයන්’ නමින් හැඳින්වෙන උස්බෙකිස්තාන පාපන්දු කණ්ඩායම ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ‘ඒ’ කොටසේ ඉහළම කණ්ඩායම් දෙකේ ස්ථානයක් හා 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රවේශ පත්‍රයක් තහවුරු කර ගත්තා.
උස්බෙකිස්තානය ට ඉතිහාසයේ පළමු වරට පාපන්දු ලෝක කුසලානයේ දොරටු විවර කර දුන්නේ ප්‍රතිවාදීන් එල්ල කළ ගෝල් හයක් ම වළක්වා ගත් ඔවුන්ගේ ගෝල් රකින්නා වූ Utkir Yusupov. තරගයේ අවසන් තත්පරයේ සිදුකළ ගෝල් වළක්වා ගැනීම ද මීට ඇතුළත්. ඔහුගේ මේ වික්‍රමය මත උස්බෙකිස්තානය සුදුසුකම් ලැබීමේ තරග වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

පාපන්දු ක්‍රීඩාව දැඩි ලෙස සිතේ ග්‍රහණය කරගෙන සිටින මේ දේශය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පුවත සැමරුවේ ජනතාව වීදි බැස සම්ප්‍රදායික සංගීතය හා ගීත ගායනය සමග චියර් කරමින් පා ගමනේ යමින්.
ජනාධිපති Shavkat Mirziyoyev සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබමින්, “මේ විශිෂ්ට ප්‍රතිඵලය අපේ ජාතික ක්‍රීඩාවේ වෘත්තාන්තවල රන් අකුරින් ලියැවේවි” යනුවෙන් ප්‍රකාශ කළා. හජ් උත්සවය සමරන ජනතාවට ජාතික පාපන්දු ක්‍රීඩකයන් නිවාඩු ත්‍යාගයක් ගෙනැවිත් ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ආසියානු පාපන්දුව පිළිබඳව සැලකිලිමත්ව සිටින අයට උස්බෙකිස්තාන කණ්ඩායමේ මේ ෙඑතිහාසික ක්‍රියාව ලොකු පුදුමයක් නොවන්නේ එම සංචිතයේ ක්‍රීඩකයන් අතරෙහි වේගයෙන් වැඩෙමින් තිබෙන සහජ කුසලතාව නිසා.
කණ්ඩායමේ සිටින 21 හැවිරිදි දක්ෂ ‘සෙන්ට බෑක්’ ක්‍රීඩක Abdukodir Khusanov දැන් ක්‍රීඩා කරන්නේ මැන්චෙස්ට සිටි කණ්ඩායමට. ඔහු එංගලන්තයේ මේ දැවැන්ත ක්‍රීඩා සමාජය සමග ජනවාරි මාසයේ ගිවිසුම් අත්සන් කළේ පවුම් මිලියන 33.6කට (ඩොලර් මිලියන 45).
ප්‍රහාරක ක්‍රීඩක Eldor Shomurodov ඉතාලියේ ප්‍රධානතම ලීගයේ ක්‍රීඩා කරන්නේ 2020 වසරේ සිට. වර්තමානයේ මොස්කව් නුවර CSKA කණ්ඩායමට ක්‍රීඩා කරන නැගී එන ඉදිරි පෙල ක්‍රීඩක Abbosbek Fayzullaev මීට දෙවසරකට ඉහත ‘වසරේ ආසියානු යොවුන් ක්‍රීඩකයා’ ලෙස නම් කෙරුනා.
1991 වසරේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව (USSR) විසුරුවා හැරීමෙන් පසුව නිදහස් රටක් බවට පත්වූ මිලියන 36ක ජනතාවක් සිටින උස්බෙකිස්තානයෙන් ප්‍රදර්ශනය වූ මේ දක්ෂතාව කලක් තිස්සේ සියලු වයස් ඛාණ්ඩවල ඔවුන් දක්වමින් සිටින විස්මයජනක ක්‍රීඩාවේ මල් ඵල ගැන්වීමක්.
ඔවුන්ගේ කුසලාන රාක්කයට 2018 වසරේ දිනා ගත් වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලානය හා 2023 වසරේ හිමි කරගත් අවුරුදු 20න් පහළ ආසියානු කුසලානය මෙන්ම මේ වසරේ අවුරුදු 17න් පහළ ආසියානු කුසලානය ද ඇතුළත්ව තිබෙනවා.
වර්තමානයේ ලොව අංක 57 ට ශ්‍රේණිගතව සිටින උස්බෙකිස්තාන පාපන්දු කණ්ඩායම 2024 වසරේදී ප්‍රථම වතාවට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සුදුසුකම් ලැබුවේ ආසියාව වෙනුවෙන් තිබූ ස්ථාන තුනෙන් එකක් ඩැහැ ගනිමින්.

මධ්‍යම ආසියානු කලාපය හරහා පාපන්දු ක්‍රීඩාව මීට බොහෝ කලකට පෙර සිට ජනප්‍රියව තිබුන ද එම ජනප්‍රියතාව කිසිවිටකත් ජ්‍යෙෂ්ඨ මට්ටමේ ජාත්‍යන්තර සාර්ථකත්වය සමග සමාන වුනේ නැහැ.
උස්බෙකිස්තානය 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබ පැය කිහිපයකට පසුව ජෝර්දානය ගෝල් 3-0කින් ඔ්මානය පරදවා ඉතිහාසය නිර්මාණය කළේ ලෝක කුසලාන පාපන්දුව කරා ඔවුන්ගේ ද එදා මෙදා තුර පළමු ගමන ස්ථිර කර ගනිමින්.
කලාපයේ වෙනත් තැනකදී ජපානය, ඔස්ට්‍රේලියාව, ඉරානය හා දකුණු කොරියාව යන ලෝක කුසලාන නිත්‍ය කණ්ඩායම් ලබන වසරේ තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



