ලෝක රොබෝ තරගාවලියේ සටන් මාලාවක කොටසක් ලෙසින් චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කර තිබූ මේ ඉසව්වට Unitree Robotics විසින් නිපදවන ලද අතිනවීන මානව රූපී රොබෝලා සිවු දෙනෙක් ඉදිරිපත් කර තිබුනා.
සිටගත් විට මීටර් 1.32කට ආසන්න උසක් හා කිලෝග්‍රෑම් 35ක බරකින් යුත් මේ රොබෝලා බොක්සිං ග්ලව්ස් හා ආරක්ෂිත උපාංග පැලඳ කික් බොක්සිං තරගවල යෙදුනේ ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගනිමින්.

තරගාවලිය අවසන් වුනේ තියුණු තරග කිහිපයකින් පසුව AI Strategist නමැති රොබෝ සටන්කරුවා ජයග්‍රාහකයා වෙමින්. මිනිසුන් විසින් පාලනය කෙරුනු මේ රොබෝලා කෙටි පහර, පැති පා පහර සහ කරකැවී එල්ල කරන පා පහර ඇතුළත් සටන් ශිල්පීය ක්‍රම ගණනාවක් ප්‍රදර්ශනය කළා.
මේ ඉසව්වෙන් කැපී පෙනුනේ කෘතිම බුද්ධියේ සංකලනය හා රොබෝ තාක්ෂණය යි. පළපුරුද්ද තුළින් ඉගෙන ගැනීමට හා සංකීර්ණ ශාරීරික කාරියන් ක්‍රියාවට නැංවීමට සමත් යන්ත්‍ර මෙහිදී ප්‍රදර්ශනය කෙරුනා.
නරඹන්නන් මේ ඉසව්ව විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට සමාන කළේ මිනිස් සටන් ක්‍රීඩාවන්ට මේ රොබෝලාගෙන් තිබෙන ගුප්ත සමානකමට අවධානය දෙමින්.

තාක්ෂණික දියුණුව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූව ද, අනෙක් අය මිනිස් ගුණාත්මක බවින් යුත් යන්ත්‍ර ශාරීරකව ගැටෙන සටන්වල නියැලෙන අන්දම පිළිබඳ ඔවුන්ගේ අසහනය දන්වා සිටියා. සටන් ක්‍රීඩාවලට මානව රූපී රොබෝලාගේ සහභාගිත්වයේ සමාජමය හා සදාචාරමය සම්බන්ධය පිළිබඳ වාදවිවාද මේ ඉසව්වෙන් ආරම්භ වුනා.
විනෝදයෙන් ඔබ්බට මේ තරගාවලිය සාක්ෂි දැරුවේ රොබෝ තාක්ෂණය හා කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍රයන්හි ව්‍යාප්ත වෙමින් තිබෙන චීන බලය පිළිබඳවයි.

විශේෂයෙන් Apple, Facebook හා Google ඇතුළු බොහෝ ගෝලීය තාක්ෂණික ආයතනවල ආරම්භක නිවහන වන කැලිෆෝනියාවේ Silicon Valley ප්‍රදේශයට සමාන කරන චීනයේ Hangzhou නගරය තවදුරටත් තාක්ෂණික නවෝත්පාදනයේ පෙරමුණ ගෙන සිටිනවා. මානව රූපී රොබෝ සටන් තරගාවලියේ සාර්ථකත්වය නිසා මේ ආකාරයේ අනාගත ඉසව්වලට හා මේ වසර පසුභාගයේ Shenzhen නුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙන මිනිස් ප්‍රමාණයේ රොබෝ තරගාවලියකට මං විවර වී තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



